සිරි දළඳා වන්දනාව වෙනුවෙන් සහ අවුරුද්දට ගමේ ගිය ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

සිරි දළදා වන්දනාව සඳහා සහභාගීවන ජනතාවගේ පහසුව පිණිස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය 13ක් අද (18) සිට ක්‍රියාත්මක කරනු ලබනවා. 

මෙම දුම්රිය සේවාව ලබන 28 වන දින දක්වා දින 10ක කාලයක් නොකඩවා ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. 

කොළඹ කොටුව සිට මහනුවර සහ ගම්පොල දක්වා ද, කඩුගන්නාව සිට මහනුවර දක්වා ද, මහනුවර සිට කොළඹ කොටුව, ගම්පොල හා කඩුගන්නාව දක්වාද මෙම දුම්රියන් ක්‍රියාත්මකයි. 

සිරි දළදා වන්දනාව වෙනුවෙන් යොදවා ඇති මෙම දුම්රියන් ධාවනය වන්නේ කොළඹ කොටුව සිට මහනුවර සහ බදුල්ල දක්වා ධාවනය කෙරෙන සාමාන්‍ය දුම්රියන්ට අමතරවයි. 

මීට අමතරව සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට ඇතුළු තදාසන්න ප්‍රදේශවලට පැමිණීමට අද (18) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට යොදවා තිබෙනවා. අද (18), හෙට (19), අනිද්දා (20) හා 21 දා දක්වා මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි. 

ඒ අනුව මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක වන්නේ බදුල්ල, බෙලිඅත්ත, ගාල්ල සහ කන්කසන්තුරේ සිට කොළඹ දක්වායි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu