"සිරි දළඳා වන්දනාව"ට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් වැදගත් තොරතුරු


සිරි දළඳා වන්දනාව අප්‍රේල් මස 18 වන දින සිට 27 වන දින දක්වා ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාව පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වනවිටත් සියළු කටයුතු සූදානමින් කර තිබෙනවා. 

ඒ අනුව, අප්‍රේල් 18 වැනිදා සවස 3.00 සිට සවස 5.30 දක්වාත් 19 වැනිදා සිට 27 වැනිදා දක්වා දහවල් 12.00 සිට සවස 5.30 දක්වාත් විශේෂ දළදා දැක්ම පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

සිරි දළඳා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට වැදගත් වන තොරතුරු මේ වන විට නිවේදනය කර තිබෙනවා. 

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පහත පරිදි වනවා. 

  • ඞී.එස්. සේනානයන වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය.
  • රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය.
  • රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය.

මේ සඳහා වාහන වලින් පැමිණෙන බැතිමතුන්ගේ වාහන පහසුවෙන් හඳුනාගෙන රථගාල් වලට යොමු කිරීම සඳහා සහ පැමිණෙන බැතිමතුන් හට අවහිරයකින් තොරව වන්දනා කටයුතු කර ගැනීමට හැකිවන පරිදි ඉඩ ප්‍රස්තාව සැලසීම සහ පැමිණෙන සංඛ්‍යාව ගණනය කිරීම සඳහා ස්ටිකරයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබෙනවා. 

සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධිකරණය කර ගනිමින් ශ්‍රී දළදා වන්දනාව සඳහා පිටත්ව යන වාහන වෙත මෙම ස්ටිකරය නිකුත් කරන ලෙස දැනටමත් පොලිස් මූලස්ථානය මඟින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බව සඳහන්. 

ඒ අනුව, දිවයින පුරා පොලිස් වසම් වලින් සිරි දළඳා වන්දනාව සඳහා කණ්ඩායම් වශයෙන් වාහන හා බැතිමතුන් කොපමණ සංඛ්‍යාවක් පැමිණෙන්නේද යන්න පිළිබඳව පූර්ව තොරතුරු ලබාගෙන එම වාහන සඳහා එක් වාහනයකට එක් ස්ටිකරයක් බැඟින් අදාල පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන හා නිළ මුද්‍රාව සහිතව මෙම ස්ටිකරය නිකුත් කිරීමට කටයුතු කරනු ඇති. 

වන්දනා කණ්ඩායම් පැමිණෙන රථයේ ඉදිරි වාමුවාවේ වම්පස ඉහළ කෙළවරේ පිටතට හොඳින් පෙනෙන අයුරින් හා රියදුරුගේ දර්ශනයට අවහිරයක් නොවන සේ මෙම ස්ටිකරය අලවාගෙන පැමිණීමටත් බැතිමතුන් කණ්ඩායම භාරව පැමිණෙන අයවළුන් වෙත ශ්‍රී ලංකා පොලිසිය දන්වා සිටිනවා. 

කෙසේ වුවද, බැතිමතුන්ගේ වන්දනා කටයුතු පහසුවීම හා වාහන පහසුවෙන් හඳුනා ගැනීම සඳහාම මෙම ස්ටිකරය හඳුන්වාදී ඇති අතර වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් රැගත් රථවාහන වල මෙම ස්ටිකරය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය නොවන බවත්, මෙම ස්ටිකරය නොමැති වුවද බැතිමතුන් වෙත ශ්‍රී දළදා වන්දනාව සඳහා පැමිණීමේ හැකියාව ඇති බවටද පොලිසිය දන්වා සිටිනවා.

එසේම සිරි දළඳා වන්දනාවට පැමිණෙන විට ශ්‍රී දළඳා මාළිගය තුළට ගමන් මලු කිසිවක් ‍රැගෙන යාමට හැකිවන්නේ නැහැ. දළඳා සමිඳුන්ට පූජා කිරීම උදෙසා පූජා භාණ්ඩ වැනි දෑ ‍රැගෙන යා හැකියි. විශාල ප්‍රමාණයේ ගමන්මලු ‍රැඳවුම් ස්ථාන වෙත භාරදීමේ හැකියාව පවතිනවා. 

එසේ ගමන්මලු භාරදීමේ ස්ථාන වන්නේ,

  • ඩී.එස් සේනානායක වීදියේ සිංගර් ආයතනය අසල
  • දේව වීදියේ පිහිටි වතුර මල අසළ
  • වැව රවුම ජෝයි බෝට්‍ටු සේවය අසළ
  • වැව රවුම අවන්හල අසළ
  • රතු බෝක්කුව හන්දිය අසළ (අම්පිටිය හන්දිය)
සිරි දළඳා වන්දනාවට පැමිණෙන අය සඳහා දළඳා මාළිගා අභ්‍යන්තරයේ ඡායාරූප ගැනීමට අවසර හිමිවන්නේ නැහැ. ශ්‍රී දළඳා මාළිඟා පරිශ්‍රයෙන් පිටත ඡායාරූප හෝ වීඩියෝ ගැනීම කල හැකි අතර සියළුම ජංගම දුරකතන ප්‍රධාන පිවිසුමෙන් ඇතුල්වීමේ දී ක්‍රියාවිරහිත කළ යුතු වනවා. 

එසේම ආබාධිත වැනි විශේෂ අවශ්‍යතාවයන් ඇති පුද්ගලයින්ට පමණක් නවාතැන් ගැනීමේ පහසුකම් සලසා ඇති අතර ඒ සඳහා ස්ථාන දෙකක් සූදානම් කර තිබෙනවා. 

  • කැප්පෙටිපොල විදුහල
  • විවේකානන්ද විදුහල
ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය තුළ වාහන නැවැත්වීමට නොහැකි අතර ඒ සඳහා මහනුවර නාගරික රථ ගාල හෝ මේ වෙනුවෙන් වෙන්කර ඇති ස්ථානයක රථ ගාල් කිරීමට හැකියාව පවතිනවා. 

සිරි දළඳා වන්දනාව පැවැත්වෙන කාලය තුළ සාමාන්‍ය පරිදි දළඳා මාළිගාවේ සංචාරය කළ හැකි වනවා. ඒ සඳහා සිරි දළඳා වන්දාව පැවැත්වෙන කාල වේලාවන් වලින් තොර වේලාවක් යොදා ගත හැකියි. ඒ අනුව,
උදෑසන 5.30 සිට 9.30 දක්වාත් සවස 5.30 සිට රාත්‍රී 8.30 දක්වාත් සාමාන්‍ය පරිදි දළඳා වන්දනාවේ නිරත විය හැකිවනවා. 

හැකි සෑම විටම සුදු ඇඳුමින් සැරසී පැමිණෙන ලෙසත් ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ දී මෙන්ම ඉන් පිටතදීත් විනීතව සහ සංවරව හැසිරෙන ලෙසත් පොලිතීන්, ප්ලාස්ටික් වැනි නගරයට, පූජා භූමියට හානිකර ද්‍රව්‍ය ‍රැගෙන ඒමෙන් වළකින ලෙසත් දළඳා මාලිගාවෙන් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. 

සිරි දළඳා වන්දනාව වෙනුවෙන් සකසා ඇති ආරක්ෂන වැඩපිළිවෙල සහ විශේෂ රථවාහන සැලැස්ම














ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu