සහල් හිඟයක් ඇති වීමේ අවධානමක් ගැන ප්‍රකාශයක්


ම්බා හා කීරි සම්බා සහල් හිගයක් මේ දිනවල ඇතැම් ප්‍රදේශවල ඇති වී තිබෙන බව වාර්තා වනවා. එසේම එම සහල්වල මිල ද ඉහළ ගොස් තිබෙන බවයි පාරිභෝගික ජනතාව පවසන්නේ. 

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සහල් සඳහා පනවා තිබෙන තොග මිල, උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් සහල් මිලදී ගැනීමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. 

කැකුළු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220ක්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 230ක්,  සම්බා සහල් කිලෝවක මිල රුපියල් 240 සහ කිරි සම්බා කිලෝවක සිල්ලර මිල රුපියල් 260ක් ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සහල් සඳහා මිල නියම කර ඇති නමුත් කිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300 කටත් සම්බා කිලෝවක් රුපියල් 270 කටත් අලෙවි වන බවයි සඳහන් වන්නේ. 

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වා දෙන්නේ පනවා තිබෙන තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බවයි.

මේ අතර ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසා ඇත්තේ මුළු රටට ම මාස හතක බරපතළ සහල් හිඟයකට මුහුණදීමට සිදුවන බවයි.

මෙසේ සහල් හිඟයට ප්‍රධාන ලෙසම බලපාන හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ මාස් කන්නයේ වී වගාව අවස්ථා දෙකක දී ගංවතුරට හසුවීමෙන් සිදු වූ විනාශයයි. 

2024/25 මාස් කන්නයේ දී හෙක්ටයාර් අට ලක්ෂ පනස්දහසක පමණ වී වගා කර ඇති නමුත් ගංවතුරින් බරපතළ හානි සිදු වූ උතුරු නැඟෙනහිර පළාත් ඇතුළු දිවයින පුරා වී වගාවට ඇති වූ හානියෙන් අපේක්ෂිත අස්වැන්න සියයට 20ක් පමණවත් අහිමිවම බව පෙන්වා දී තිබෙනවා. එසේම වල් අලින් සහ වන සතුන්ගේ හානිය නිසා අස්වැන්න තව දුරටත් පහළ යා හැකි බවයි ඔහු පවසා ඇත්තේ. 

වී සංචිත අහිමි වුවහොත් රටම බරපතළ සහල් හිඟයට මුහුණ දෙන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. මෙරට දෛනික සහල් පරිභෝජනය මෙටි්‍රක් ටොන් 6500ක් පමණ වන අතර වාර්ෂික පරිභෝජනය මෙට්‍රික් ටොන් විසිතුන් ලක්‍ෂ පනස් හත් දහස් නවසිය පනස්හතක් ලෙසත් වාර්තාවල සඳහන්. එ අනුව සහල් හිඟයක් ඇති නොවීමට ඉදිරි යල කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ 07 ක වී වගාවට අවධානය යොමු කළ යුතු බව යි අනුරාධ තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ. එසේ සහල් හිඟයක් ඇති වුවහොත් සහල් ආනයනය කිරීමට සිදුවන බවයි ඔහු පෙන්වා දී තිබෙන්නේ. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu