සිසු සිසුවියන් අඩු ප්‍රාථමික පාසැල් 1557ක් වසා දැමීම සඳහා රජය විසින් කටයුතු කිරීමට සූදානම් වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරනවා.
මෙසේ පාසැල් වසා දැමීම සඳහා එවැනි පාසැල් හඳුනාගෙන ඇත්තේ ආණ්ඩුව මගින් අධ්‍යාපන පාසල් ප්‍රතිව්‍යුහගත ව්‍යාපෘතිය යටතේ බවයි ඔහු පවසා ඇත්තේ . යම් හෙයකින් එසේ පාසැල් වසා දැමීමක් සිදුවුවහොත් දැනට සියයට තුනක් පමණ තිබෙන ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීම අත්හරින දරුවන්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යෑමේ අවදානමක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ මේ සඳහා ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බවත් පාසැල් වසා දැමීමෙන් පසු වෙනත් පාසැලකට ළඟාවිය හැකි දුර ඉතා වැඩි වන දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට මෙමඟින් දැඩි අසාධාරණයක් සිදුවන බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.
එසේම මෙයට පෙර පැවති ආණ්ඩුවලින් ද මෙම ප්‍රතිසංස්කරණය ගෙන ඒමට සූදානම් වන විට ඒ සඳහා විරෝධතාවය දක්වමින් සටන් කළ වත්මන් ආණ්ඩුවේ පිරිසම නැවත මෙය සිදු කිරීම විමතියට කරුණක් බවයි ඔහු පවසා ඇත්තේ.
එසේම උසස් පෙළ හදාරන ළමුන් පහළොවට අඩු උසස් පෙළ අංශද වසා වෙනත් පාසැල් වලට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් බව සභාපතිවරයා පෙන්වා දෙනවා. එමඟින් සමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සඳහා තේරී පත් වු සිසුන් උසස් පෙළ හැදෑරීම අත් හැරීමේ අවදානමක් ද පවතින බවයි සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ.
රටේ පවතින හතළිස් දහසක ගුරු හිඟයට පිළියමක් ලෙස මෙලෙස පාසැල් වසා දැමීම ‘ පය බරවාට පිටිකර බෙහෙත් බැන්දා’ වැනි ක්‍රියාවක් බවත් මේ සඳහා කළ යුත්තේ අදාළ පාසල් වලට විෂයට අදාළ ගුරුවරු සපයා පහසුකම් සැලසීම බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.
මෙම ප්‍රතිසංස්කරණය යටතේ මේ වන විටත් උතුරු මැද පළාතේ පාසල් කිහිපයක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන බවත් මෙම ඊනියා ප්‍රතිසංස්කරණයට ලංකා ගුරු සංගමයේ බලවත් විරෝධය පළ කරන බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.