මෙම වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදීෂාන් හා පසිදු තාරුක නැමති 28 හා 29 වියේ පසු වූ තරුණයන් දෙදෙනෙකුයි.
මෙම තරුණයින් දෙදෙනා දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති යහළුවෙකුගේ උපන්දින සාදයකට ගොස් නැවත තම නිවෙස් වෙත පැමිණෙමින් සිටින අතර තුර මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති අතර වෙඩික්කරුවන් ගමන් ගත් වෑන් රථය වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනිතබා ගොස් තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසීය විසින් තොරතුරු කිහිපයක් අනාවරණය කරගෙන ඇති අතර මේ වන විට කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක් වූ යෝමේෂ් නැමැති තරුණයා මින් පෙර අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට ගත් අයෙක් බවයි පොලිසීය පවසා ඇත්තේ. පසුගිය වසරේ අවසන් කාලයේ දී ඉන්දියාවේ හෙරොයින් කිලෝගෑම් 400 සමඟ අත් අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ ස්කිපර්වයා ලෙස කටයුතු කර ඇත්තේ ඔහුගේ මාමා කෙනෙකු බවයි වාර්තා වන්නේ.
මේ නිසා ඩුබාහි වෙසෙන දෙහි ගෙදර රංග නැමැත්තා සැකකර ඇත්තේ තමන්ගේ පාර්ශවය විසින් දෙවුන්දර ප්‍රදේශයේ සිදු කර ගෙන යනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම යොමේශ්ගේ පාර්ශවය සියතට ගැනීමට උත්සාහ කරන බවයි. මේ ගැන යොමේශ්ට දෙහි රංග විසින් දුරකතන ඇමතුම් ලබා දී මරණ තර්ජන කර ඇති නමුත් යොමේශ් එල්ල වූ තර්ජන කිසිවක් නොතකා ප්‍රතිවිරුද්ධ පාර්ශවය සමඟ ගැටුම් ඇති කරගෙන ඇති බව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව දෙහි රංග නැමැත්තාගේ මෙහෙයවීම මත අදාළ ඝාතනය සිදු කර ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
යොමේශ් නැමති තරුණයා සමඟ යතුරුපැදියේ පිටුපස පැමිණි පසිඳු නැමැත්තාට කිසිදු චෝදනාවක් නොමැති බවත් ඔහු ප්‍රදේශයේ සාමකාමී ලෙස ජීවත් වූ අයෙක් බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක්, ව්‍යාපාරිකයෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසීය සමත්ව ඇති අතර කාන්තාව ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයාගේ බිරිඳයි.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ ඝාතන ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවටයි.