2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයාම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති ධූරය දැරූ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙක් අත් අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබුණා.
නමුත් දේශබන්ධු තෙන්නකෝන් සැඟව සිටීම හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් යොදවා තිබුණා.
මේ අතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ එම නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම අභියාචනාධිකරණය විසින් පසුගිය 17 වන දින නිෂ්ප්‍රභ කලා.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා සඳහන් කර තිබුනේ මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා බවත් රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බවත් ය. එසේම මෙවැනි පුද්ගලයෙකු අධිකරණ නියෝග මඟ හරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව ද විනුසුරුවරයා පවසා තිබුණා. සමස්ත කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කාර පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය තුළින් ඔහු පිරිසුදු දෑත් වලින් අධිකරණය හමුවට පැමිණි බවක් පෙනී නොයන හෙයින් ඔහුගේ පෙත්සම සහ අතුරු සහන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබුණා.
මෙම තීන්දුවෙන් දින දෙකක් ගතව ඇති අද (19) දින උදෑසන දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබෙන බවයි වාර්තා සඳහන් කරන්නේ.
ඔහු අධිකරණය වෙත මෙලෙස ඉදිරිපත් වී ඇත්තේ නීතිඥවරයෙකු මාර්ගයෙන්.