2023 වසරේ දෙසැම්බර් 31වනදා වැලිගම - පැලෑන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුඩිය මස 27 වන දින නියෝගය නිකුත් කර තිබුණේ.
එලෙස වරෙන්තු නිකුත් කර දින 11ක් මේ වන විට ගත වී ඇතත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙතෙක් අත් අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.
සැඟවී සිටින හිටපු පොලිස්පති වරයා සොයා මේ වන විටත් පොලීසිය විසින් විමර්ශන සිදු කරන අතර ඔහු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ නිවසේ රැඳී සිටිනවායැයි ලද තොරතුරක් මත පොලීසිය විසින් එම නිවස ඊයේ (09) රාත්‍රියේ දී වටලා තිබුණා.
මෙසේ පොලීසිය විසින් වටලා තිබුණේ මාතර ප්‍රදේශයේ පිහිටි බස්නායක නිලමේ දිශාන් ගුණසේකර මහතාගේ මහ ගෙදරයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායම් දෙකක් මෙම වැටලීම සිදු කර ඇති අතර ඔවුන් කොළඹ සිට මාතර බලා ගොස් එම නිවස වටලා තිබුණා.
එම අවස්ථාවේ දී එහි සිට ඇත්තේ බස්නායක නිලමේවරයාගේ වියපත් මව පමණක් බවයි වාර්තාවල සඳහන් වන්නේ.
පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසයි.
මේ අතර, අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා තහනම් නියෝගයක් ගැනීමට හිටපු පොලිස්පතිවරයා උත්සාහයක යෙදෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා.
ඒ හරහා දැනට ඔහුව අත් අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගය අත් හිටුවීමට බලාපොරොත්තුවන බවයි මන්ත්‍රීවරයා පවසා ඇත්තේ.
2023 වසරේ දෙසැම්බර් 31වනදා වැලිගම - පැලෑන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් උපුටාගත් සටහන්
වැලිගම නව ගාලු පාරේ පැලෑන වටරවුම අසල පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක් වූ ඒ,ජේ,එම්. මුසාමිල් ගේ පුත්‍රයාට අයත් W15 හෝටලයට ඊයේ අළුයම වෙඩි තබා පලායෑමට තැත් කිරීමේදී වැලිගම පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව කොළඹ අපරාධ කොට්ඨාසයට CCD අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරියෙක් තුවාල ලැබුවා.
අළුයම් කාලේ කේ,ඩී,එච් වෑන් රථයකින් පැමිණි පිරිසක් වැලිගම නව ගාලු පාරේ පැලෑන වටරවුම අසල පිහිටි W15 හෝටලය තුළට ගොස් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණා.
එම අවස්ථාවේදී ඊට නුදුරින් එම දිනවල ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල යෙදෙමින් සිටි වැලිගම පොලිසියේ ජංගම පොලිස් සංචාරක රථයක් අසල ස්ථානගත කර තිබී ඇති අතර එම ඒකාබද්ධ මෙහෙයුම සඳහා යෙදූ හමුදාවේ පිරිසක්ද එම රථයේ හිඳ තිබෙනවා.
සිද්ධිය වාර්තා වීමත් සමඟ වෙඩි ප්‍රහාර එල්ල කළ කේ.ඩී.එච් රථය හඹා ගිය පොලිස් ජංගම රථය මාර්ගය හරස්කර පලායන වෑන් රිය නවත්වාගෙන තිබෙනවා. එහෙත් ජංගම රථයට වෙට්ටුවක් දමා වෑන් රථය පලා ගොස් තිබුණා. ඒ අවස්ථාවේදී ජංගම පොලිස් රථය වෑන් රිය හඹා ගොස් වෙඩි තබා තිබෙනවා. අනතුරුව මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ වැලිගම HQI විසින් මෙම පලායන රථය සම්බන්ධව සියලුම තොරතුරු පොලිස් ස්ථාන ඇතුළු ආරක්ෂක අංශය වෙත දැනුම් දීමටයි පියවර ගෙන තිබුණේ. ඒ අනුව පලා ගිය රථය ඉමදුව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී අධිවේගී මාර්ග ආරක්ෂක අංශ පොලිසිය විසින් නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී රථයේ සිටි කණ්ඩායම තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ බව දන්වා හැඳුනුම්පත් ඉදිරිපත් කළත් එතැනින් ප්‍රවේශ වීමට පොලිසියේ ඉඩ දී තිබුණේ නැහැ. පසුව ටික වේලාවක් ගිය පසු උසස් පොලිස් නිලධාරියෙකුගෙන් එන නියෝගයක් පරිදි මෙම පිරිස මුදාහැරීමට අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරීන්ට සිදුවුණා. මේ අතර වෙඩි වැදුණු පුද්ගලයා අධික රුධිර වාහනය නිසා මියගොස් ඇති බවත් තවත් පුද්ගලයකුත් තුවාල ලබා සිටින බවත් එහි ගිය අය පොලිසියට පවසා තිබෙනවා. පසුව විමසීමේදී මෙම කේ,ඩී,එච් වෑන් රථයේ පැමිණ W15 හෝටලයට වෙඩි තබා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් බව හෙළිවී තිබුණා. අනතුරුව 1990 ගිලන් රථයක් ගෙන්වා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් උපුටාගත් සටහනක් පහතින්
"සිදුවූයේ කුමක්දැයි මේ වන විට පොලිසිය ද වික්ෂිප්තව තුෂ්නිම්භූත වී බලා සිටින මොහොතේ Lanka e News අභ්‍යන්තර තොරතුරු සේවයට සිද්ධිය වාර්තා වුණා.
නරි නාටකයේ උච්චතම අවස්ථාව සැමරීමට...
දේශබන්දු ටිරාන් මත්කුඩු නරි නාටකයේ උච්චතම අවස්ථාව සැමරීමේ අපේක්ෂාවෙන් කාටවත් නොදන්නවා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය වී තිබුණේ පසුදාට එළඹෙන ජනවාරි පළවෙනිදා වන විට මත්කුඩු මෙහෙයුමේ මාධ්‍ය සංදර්ශනය පෙන්වීමටයි. ඒ සඳහා යොදාගෙන තිබුනේ මත්කුඩු වලට නමගිය ප්‍රදේශයක් වන දකුණු පළාතයි. ඒ සඳහා සුදුසු ස්ථානයක් ලෙස අවස්ථා කිහිපයකදී කප්පම් ඉල්ලා නොදී සිටි මුසාමිල්ගේ පුත්‍රයාට අයත් W15 හෝටලය තෝරාගෙන තිබුණා. එක ගලෙන් කුරුල්ලෝ කීපදෙනෙක් මැරීමේ න්‍යාය මේ සඳහා යොදා ගත්තා.
අපට ලැබුණු අභ්‍යන්තර තොරතුරුවලට අනුව මෙම කේ,ඩී,එච් වෑන් රථය (කොළඹ අපරාධ කොට්ඨාශයට අයත්) ඊයේ රාත්‍රිය කාලයේ කොළඹින් පිටත්ව ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය කිලෝ 15 කුත් සමඟයි. මේ ගමන සම්බන්ධයෙන් දකුණු පළාත් භාර කිසිදු උසස් නිලධාරියෙකුට දැනුම් දී තිබුණේ නැහැ. සාමාන්‍ය ක්‍රමවේදය නම් පොලිස්පතිවරයාගේ නියමයෙන් එවැනි කණ්ඩායමක් පිටත් කිරීමේ හැකියාව පැවතියත් වැටලීමක් සිදුකරන ස්ථානයට ගිය පසු එම ස්ථානයේ දැන් වැටලීමක් සිදු කරන බව ප්‍රදේශය බාර උසස් නිලධාරීන්ට දැන්වීම සාමාන්‍ය ක්‍රමවේදයයි.
මාධ්‍ය සංදර්ශනයක් තැබීමට..
කොළඹින් පිටත්ව ගිය මෙම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී තිබුණේ W15 හෝටල් පරිශ්‍රයට මෙම කුඩු ටික රැගෙන ගොස් එහි තිබූ මත්ද්‍රව්‍ය බව හුවා දක්වමින් නරි නාටක මත්ද්‍රව්‍ය මෙහෙයුමේ මාධ්‍ය සංදර්ශනය තැබීමටයි. එය ලත්තැනම ලොප් වුනේ හෝටල් සේවකයින් හෝටල් පරිශ්‍රයට පැමිණි මේ පිරිස පිළිබඳව සැක සිතූ නිසයි. ඒ අනුව ඔවුන් කඩිමුඩියේ කළේ හෝටල් පරිශ්‍රය දෙසට වෙඩි තබා පලායාමටයි. මෙය පාතාල වැඩක් බව හුවා දක්වමින් පලායෑමට තැත් කළත් පොලිස් නිලධාරීන්ගේ ලුහුබැඳීම නිසා එය ව්‍යාර්ථ වුණා. ඔවුන් පැමිණියේ මෙවැනි කුපාඩි වැඩකට නෙමෙයි නම් රාජකාරියේ නිරත සිටි පොලිස් නිලධාරීන් විසින් නතර කරන ලෙස දන්වා සිටියදීත් අණ නොතකා ධාවනය කෙළේ ඇයි...? පොලිස් නිලධාරින් ලුහුබැඳ ගොස් වෙඩි තබන අවස්ථාවේදීත් වෙඩි කාගෙන පලා යෑමට උත්සාහ කළේ ඇයි..? සිද්ධිය සිදුවූ ස්ථානයේ සිට ඉමදූව අධිවේගී මාර්ගය පිවිසුම දක්වා පැමිණවීමට විනාඩි හතළිහක පමණ කාලයක් ගත වෙනවා. ඒ පැමිණෙන තෙක් තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් ගත කිරීමටවත් උත්සාහ නොකළේ ඇයි...?
අපට ලැබුණු තොරතුරු වලට අනුව එම නිලධාරීන්ට ඒ වන විටත් කොළඹින් ලබා දී තිබූ නියෝගය වුණේ හැකි ඉක්මනින් කොළඹට පැමිණෙන ලෙසයි. එහෙත් ඉමදූව අධිවේගේ පිවිසුමේදී එයද ව්‍යාර්ථ වුණා. මේ වන විට එම රථයේ තිබූ කුඩු ටික පවා අස්ථානගත කර පාතාල ගැටුමක් අතරතුරදී සිදුවූ වෙඩිතැබීමකින් නිලධාරියෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා තවත් සංදර්ශනයක් රඟ දක්වමින් සිටිනවා"
උපුටා ගැනීම අවසන්