එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයින්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන්හි සේවය කරන දහස් ගණනක් සේවකයින් නැවත කැඳවන බවත් පසුගියදා USAID විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ඒ අනුව පසුගිය පෙබරවාරි 7 වැනිදා රාත්‍රී 11:59ට සියලුම USAID සෘජු කුලියට ගත් සේවකයින්ට ගෝලීය වශයෙන් පරිපාලන නිවාඩු අනුමත කරමින් ඔවුන්ට නිවාඩු ලබා දෙන බවයි ඔවුන් පැවසූවේ.
එම තීරණය ගනු ලැබූවේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය මගින් ලොව පුරා සිදුකරන ආධාර වැඩසටහන් හා සංවර්ධන ව්‍යාපෘති සඳහා දැඩි සීමා පැනවීමත් සමඟයි.
මෙම USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය 1961 නොවැම්බර් මස 3 වැනිදා ආරම්භ වුණා. එහි අරමුණ වූයේ පළමු සහ දෙවන ලෝක යුද්ධ සමයේ විනාශයට පත් වූ රටවල් සඳහා ආධාර දීමයි.
හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම ආයතනය වනවා.
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දුන් නව විධායක තීන්දුවලට අනුව දැනටමත් විදේශ ආධාර සඳහා දැඩි සීමා පනවා තිබෙනවා. ඒ අනුව ලොව පුරා ඇමරිකානු ආධාර යටතේ සිදු කරන බොහෝ ව්‍යාපෘති නතර කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් අමෙරිකානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති රැසක් අඩාල විය හැකි බවටයි විද්වතුන් අනතුරු අඟවා ඇත්තේ. ඔවුන් පෙන්වා දෙන්නේ අමෙරිකානු තානාපතිනිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබා දුන් පොරොන්දු මත ක්‍රියාත්මක ඇතැම් ව්‍යාපෘතිද අතරමග නතර විය හැකි බවයි.
එසේම මෙම තීරණය නිසා මෙරට ආර්ථිකයට ද සැලකිය යුතු බලපෑමක් එල්ලවන බව ඔවුන් පෙන්වා දෙනවා.