ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය


ල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩු අංක බී 92/2009  නඩුවට අදාළව වූ චූදිතයින් තිදෙනෙක් නිදහස් කරන ලෙස දන්වා පසුගියදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර තිබුණා. 

ඒ අනුව, 

ප්‍රේම් ආනන්ද උදලාගම

හේට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල

විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන චූදිතයින්ට විරුද්ධව තව දුරටත් නීති මඟින් කටයුතු කිරීමට අදහස් නොකරන බවත් ඔවුන් නිදහස් කරන ලෙසත් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබුණා. 

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවට අදාළව අත් අඩංගුවට ගෙන ඇති මෙම චූදිතයින් තිදෙනා මෙසේ නිදහස් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සෙ දැඩි විරෝධතාවයක් එල්ල වුණා. එසේම සමාජ ක්‍රියාකාරීන්ද  මේ සම්බ්න්ධයෙන් දැසි විරෝධතාවයක් එල්ල කලා. 

ඒ අනුව නීතිපතිවරයා සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදු කරනු ලැබුවා. 

එම සාකච්ඡාවෙන් අනතුරුව නීතිපතිවරයා විසින් නිවේදනයක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරන නඩු අංක බී 92/2009 නඩුකරයට අදාළව නීතිපතිවරයා විසින් 2025.01.27 දිනැතිව අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ට්නුව අමතා යොමු කොට ඇති ලිපියේ නම සඳහන් සැකකරුවන් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් නොවන බවයි. 

එසේම එම මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැති බවද එම ලිපියේ සඳහන්. 

අදාළ ලිපි පහතින්.




කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින් නොයෙක් අදහස් දක්වා තිබෙනවා. එසේ පලකළ අදහස් කිහිපයකි මේ.

උපුටා ගැනීම - උපුටා ගැනීම - සනත් බාලසූරිය මහතාගේ ෆේස්බුක් පි‍ටුවෙන්

කිතුලට නැග්ගේ තණකොළ කපන්නලු
නීතිපති, ජනපතිට කියයි!
- - - - - - - - - - - - - -
“අපි නිදහස් කරන්න කිව්වේ ලසන්ත ඝාතනයේ සැකකරුවන් නෙවෙයි,
ලසන්තගේ රියදුරු පැහැරගත් නඩුවේ සැකකරුවන්”- නීතිපති දෙපාර්තමේන්තුව
“එතකොට සුගතපාලයි නානායක්කාරයි දෙන්නත් ලසන්තගේ රියදුරු පැහැරගන්න ගියාද?”
එහෙම පැහෑරගැනීමක් ගැන නඩුවක් නැත
නීතිපතිගේ ලියුමේත් එහෙම එකක් නැත
අන්තිමේ ලියුම රිවර්ස් වෙයි?
- - - - - - - - - - - -
(1 කොටස)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට යැවූ ලිපියෙන් තමන් නියෝග කළේ ලසන්ත වික්රමතුංග ඝාතනයේ සැකකරුවන් නොව, ලසන්ත ගේ රියදුරා පැහැරගෙන යාමට අදාළ නඩුවේ සැකකරුවන් නිදහස් කළහැකිය යි උසාවියට නිර්දේශ කරනලෙස බව නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් පිරිසක් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ ප්රකාශකර තිබේ.
ඔවුන් මෙසේ පවසා ඇත්තේ නීතිපතිවරයා ගේ අදාළ ආන්දෝලනාත්මක ලිපිය සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ (06වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කැඳවන ලද සාකච්ඡාවකදී ය.
නීතිපතිවරයා ප්රමුඛ එම දෙපාර්තමේන්තු නිලධාරීන් ජනාධිපතිවරයාට මේ පවසා ඇත්තේ පට්ටපල් බොරුවකි.
“බොනිකර තරුවක්!”
- - - - - -
නීතිපති ප්රමුඛ එම දෙපාර්තමේන්තුව මේ කරුණු දැක්වීමෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපතිවරයා නොමග යැවීමට බව පැති ගණනාවකින් තහවුරු කළ හැකිය.
* මෙහි පහත ද අමුණා ඇති, දැනටමත් සමාජ මාධ්ය ඇතුළු විවිධ මාධ්යවලින් පුළුල් ලෙස පතුරුවා හැර ඇති නීතිපති පාරින්ද රණසිංහගේ අත්සන සහිත ලිපියේ, 'ලසන්ත ගේ රියදුරු පැහැරගෙන යාමේ නඩුවක්' හෝ 'ඊට අදාළ සැකකරුවන්' ගැන කිසිදු තැනක කිසිදු සඳහනක් එන්නේ නැත.
ඒ වෙනුවට එහි ඇත්තේ ලසන්ත ඝාතන නඩුවේ නඩු අංකය වන ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවේ ඇති බී 92/2009 නඩු අංකය යි.
* ලසන්තගේ රියදුරු දේවමුල්ලගේ කරුණාරත්න ඩයස් පැහැරගෙන යාම සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක කිසිදු ඒකල නඩුකටයුත්තක් අප දන්නා තරමින් පවත්වාගෙන යන්නේ නැත.
එසේ පවත්වාගෙන යන්නේ නම් ඒ මොන උසාවියේ කුමන නඩු අංකය යටතේද? ඒ උසාවිය හා ඒ නඩු අංකය වෙනුවට මේ ලිපියට ලසන්ත ඝාතන නඩුවේ අංකය හා ඒ නඩුව ඇති උසාවිය වැටී ඇත්තේ ඇයිද යන උභතෝකෝටිකය නීතිපතිවරයා පළමුව නිරාකරණය කළයුතු ය.
රියදුරු පැහැරගැනීමට වෙනම නඩුවක් නෑ!
- - - - - -
රියැදුරු පැහැරගැනීමේ සිදුවීමට අදාළව අධිකරණයට කරුණු වාර්තාකර ඇත්තේ ද, නීතිපතිවරයා සැකකරුවන් තිදෙනා නිදහස් කරන්නට නිර්දේශ කරන ලසන්ත ඝාතන නඩුව යටතේ ය. ලිපියේ දැක්වෙන්නේ ඒ නඩු අංකය මිස රියදුරෙක් පැහැරගැනීමක් ගැන නඩු අංකයක් නොවේ.
නීතිපතිවරයාට අවශ්ය වූයේ ඉහත ලසන්ත ඝාතන නඩුවේ එක් සිද්ධියක් වන ලසන්ත ගේ රියදුරා පැහැරගෙන ගොස් තර්ජනය කිරීමට අදාළ සැකකරුවන් නිදහස් කරන්නට පමණක් නම්, නීතිපතිවරයා ඒ බව සිය ලිපියේ පැහැදිළිව දැක්විය යුතු ය. එහෙත් ඒ වෙනුවට ලිපියේ දක්වා ඇත්තේ ලසන්ත ඝාතන නඩුවේ නඩු අංකය හා ඒ නඩුවට අදාළව දැනට උසාවිය හමුවට පමුණුවා ඇති සැකකරුවන් තිදෙනා යි. ලසන්ත ඝාතන නඩුවට අදාළව දැනට සැකකරුවන් ලෙස නම්කර සිටින්නේ මේ තිදෙනා පමණි. ඔවුනුත් මේ කියන විදියට නිදහස් කළහොත් ලසන්ත ඝාතනය ගැන නඩු අහන්නට තවත් සැකකරුවන් මේ මොහොතේ ඉතිරිවන්නේ නැත. නඩු පොතත් වසා කාට කාටත් සතුටින් විසිරයා හැකි ය.
* රියදුරු පැහැරගැනීමට අදාළ සැකකරුවන් නිදහස් කරන්නට නිර්දේශ කරනවා නම්, ඒ නිර්දේශයට යටත් වන්නේ මෙතැනින් පළමු සැකකරු ප්රේම් ආනන්ද උදලාගම පමණි. තිස්සසිරි සුගතපාලට හෝ ප්රසන්න නානායක්කාරට ඒ පැහැරගැනීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නැත. ඔවුන් දෙ දෙනාට ඇත්තේ ලසන්ත ඝාතනයේ සාක්ෂි වසංකිරීමේ හා සාක්ෂි විනාශ කිරීමේ චෝදනා යි. රියදුරු පැහැරගැනීමකට නිදහස් කරන සැකකරුවෙක් අස්සට මේ දෙ දෙනා රිංගවන්නේ ඇයි?
මේකටත් අපූරු උත්තරයක් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ජනාධිපතිවරයා හමුවේ දී ඇතැයි දැනගන්නට ඇත. ඔවුන් කියා ඇත්තේ තිස්සසිරි සුගතපාලට හා ප්රසන්න නානායක්කාරට රියදුරා පැහැරගෙන යාම යටතේ තවදුරටත් නීතිමගින් කටයුතු කළ නොහැකි බැවින් ඔවුන් නිදහස් කරන්නට නිර්දේශ කළ බව ය.
මේක කියන්නට නීතිපති කෙනෙක් අවශ්ය නැත. මේ සිද්ධිය ගැන දන්නා ඕනෑම කෙනෙකුට ඒ බව වැටහෙයි. මේ පැටලිල්ල නීතිපතිට සිදුවන්නේ කිතුලට නැග්ගේ තණකොළ කපන්නටයයි කියන්නට හදන බැවිනි. නඩුව ලසන්ත ඝාතන නඩුවයි. සැකකරුවන් ඊට සම්බන්ධ අය යි. රියදුරු පැහෑරගැනීම එහිදී සිදුවී ඇති එක් අපරාධයක් පමණි. (දැනට අනාවරණය වූ තවත් මනුෂ්ය ඝාතන දෙකක් ඇතුළු තවත් අපරාධ ඒ යට තිබේ. තවත් අපරාධ වැඩිදුර විමර්ශනයක දී අනාවරණය වන්නට ද බැරිකමක් නැත.) එහෙත් වැඩේ පත්තුවූ පසු නීතිපති තණකොළ කතාවක් ඇදගනී.
උදලාගම බේරන්නට දැමූ නීති තර්ක අතේ පත්තු
- - - - - -
පැහැරගැනීමට ලක්වූ රියදුරු ඩයස් තමන් පැහැරගත් පුද්ගලයා ලෙස උදලාගම හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ දී හඳුනාගෙන ඇත්තේ සීඅයිඩීය මඟින් ඔහුගේ රුව රැගත් රූපසටහනක් මාධ්යවලින් ප්රසිද්ධ කිරීමෙන් අනතුරුව බවත්, රියදුරා උදලාගම හඳුනාගන්නේ ඒ රූපසටහනේ ආධාරයෙන් වියහැකි බවත්, අධිකරණයේ දී ඒ තර්කය මතු වුවහොත් උදලාගමට එරෙහිව රියදුරු පැහැරගෙන යාමට එරෙහිව ද නීතිය ක්රියාත්මක කළ නොහැකි වනු ඇති බවත් නීතිපති ඇතුළු නිලධාරීහු පවසා ඇත. ජනාධිපතිවරයා එහිදී නිවැරැදිව පවසා ඇත්තේ, එය තීරණය කළයුත්තේ අධිකරණයෙන් මිස නීතිපති දෙපාර්තමේන්තුවෙන් නොවන බව ය.
නීතිපති වංගු
- - - - - -
නීතිපති ගේ මේ වංගුව කොහෙත්ම පිළිගත නොහැකි කරුණු කිහිපයක් වෙයි. 2016 ජූලි 7වැනිදා පැවැති හඳුනාගැනීමේ පෙරෙට්ටුවට පෙර උදලාගමගේ නීතීඥයන් ඉහත කී රූපසටහන ප්රසිද්ධ කිරීම නිසා පෙරෙට්ටුවේ දී සිය සේවාදායකයාට අසාධාරණයක් සිදුවිය හැකි බවට කිසිදු නීතිමය විරෝධයක් දක්වා නැත. එසේනම්, අවුරුදු අට හමාරකට පසු නීතිපතිට එවැනි නීතිමය ගැටලුවක් මතක්වන්නේ ඇයි? ඝාතනය යටගැසීමේ වුවමනාවෙන් නොවේනම්, ඊට වෙනත් යුක්ති සහගත හේතුවක් දියහැකි ද?
ජනාධිපතිවරයා කියා ඇති පරිදිම, එය තීරණය විය යුත්තේ අධිකරණයෙනි. ‘අධිකරණයේ දී මෙහෙමත් වෙන්න පුළුවන්’ (එහි අනෙක් තේරුම, ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් කියන එක ය.) කියා නඩු විසිකරන නීතිපති දෙපාර්තමේන්තුවකින් රටකට ඇති පලය කුමක්ද?
අනෙක් කරුණ, මේ රූපසටහන සීඅයිඩී විමර්ශකයන් විසින් අන්දවනු ලබන්නේ පැහැරගැනීමට ලක්වන රියදුරු ඩයස් කරන දේහලක්ෂණ විස්තරයට අනුව ය. උදලාගම අත්අඩංගුවට ගැනෙන්නේ ඒ රුව ප්රසිද්ධවවීමත් සමඟ සීඅයීඩීයට ලැබෙන තොරතුරක් අනුව ය. ඩයස් පැහැරගැනීමට අදාළව අධිකරණයට කරුණු වාර්තා කිරීමේ දී විමර්ශකයන් වෙතින් මේ ගැන පැහැදිළිව සඳහන් වී ඇත. මේ කරුණු අනුව උදලාගම සම්බන්ධයෙන් නීතිපති කියන විදියට නොව ඔහු නොකියන විදියට ද කරුණු සිදුවීමේ ඉඩක් පවතී. ඒ තීරණය නීතිපති සතුව නොව, අධිකරණය සතුව පවතින්නකි.
ලියුමක් හදාගන්නවත් බැරි නීතිපති දෙපාර්තමේන්තුවක්?
- - - - - -
ඇත්තටම නීතිපතිට අවශ්ය වූයේ රියදුරු පැහැරගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් නිදහස් කිරීමට නම්, මේ හදා තියෙන ලියුම මුළුමනින් වැරදි ය. නඩු අංකය වැරදි ය. නම්කර ඇති සැකකරුවන් වැරදි ය. නියෝගය බලපවත්වන්නේ අදාළ නඩු අංකය යටතේ පවත්නා කුමන කාරණය සම්බන්ධයෙන්, කුමන සැකකරුට එරෙහිවද යන්න පැහැදිළිව ලියුමේ සඳහන් කළයුතුව තිබිණි. (සුගතපාලට හා නානායක්කාරට ඒ පැහැරගැනීමට එරෙහිව නීතියෙන් කටයුතු කළ නොහැකි බව නීතිපති ම ජනාධිපතිට කියයි. ඉතින් අපිත් කියන්නේ ඒක ය!) එහෙම බලනකොට පෙනෙන්නේ, තමන්ට අවශ්ය විදියේ අර්ථ නැංවෙන අන්දමකට ලියුමක් හදාගන්නවත් නීතිපතිවරයාට හා ඔහුගේ දෙපාර්තමේන්තුවට බැරිබවද?
එහෙම තමන් වෙනුවෙන් හරිහමන් ලියුමක් හදාගන්නටවත් බැරි නීතිපති කෙනෙකුගෙන් හා දෙපාර්තමේන්තුවකින්, රටේ මහජනතාව වෙනුවෙන් යුක්තිය පසිඳලීම උදෙසා අධිකරණ ක්රියාවලිය හමුවේ පෙනීසිටීමක් බලාපොරොත්තෙුවීමේ ඇති පලය කිම?
- - - -
ඊළඟ කොටසට...
----------------------------------------------------------------------------------------------
කිතුලට නැග්ගේ තණකොළ කපන්නලු
නීතිපති, ජනපතිට කියයි!
(2 කොටස)
- - - - - - - - - - - - - -
“වැඩේ වනවුණේ සමාජ මාධ්ය නිසා” - නීතිපති දෙපාර්තමේන්තුව
මැස්සා එළවන්නට රජාට කඩුවෙන් කොටන සමාජ මාධ්ය වඳුරෝ!
නීතිපති සමාජ මාධ්යවලට උත්තර හදාදුන්නාද?
සමාජ මාධ්යවලින් නීතිපති උත්තර හදාගත්තාද?
පිස්සුපූසා කොමිසමේ පාරාජිකා නිර්දේශ වඩාගෙන දුවන නීතිපති
- - - - - -
“වැඩේ වනවුණේ සමාජ මාධ්ය නිසා”
- - - - - -
මේ සාකච්ඡාවේ දී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කරන ලද තවත් කාරණයක් තිබේ. ඔවුන් කියා ඇත්තේ මෙය මෙතරම් ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූයේ සමාජ මාධ්ය හේතුවෙන් බව ය.
එහි යටි අරුත නම්, දැඩි සමාජ මාධ්ය කතිකාවක් නොතිබෙන්නට තමන්ගේ වැඩේ කරදරයක් නැතිව කරගෙන, ලසන්ත ඝාතනයේ සියලු සැකකරුවන් දොට්ට දමා, විමර්ශනත් අකුලා නඩුපොතත් ලේසියෙන් ම වසාදමන්නට හැකියාව තිබුණු බව ය. එහෙත් දැන් කාලය වෙනස් ය. සමාජ නාඩිය ගැහෙන විදිය වෙනස් ය.
සමාජ මාධ්ය වඳුරෝ!
- - - - - -
නීතිපති ලිපියෙන් එළිදකින තීරණය සමාජ මාධ්යවල දැඩි ප්රහාරයකට ලක්වන විට, ජාජබ ආණ්ඩුවට මෙන්ම එම දේශපාලන සන්ධානයට ද අයත් සමාජ මාධ්ය ක්රියාකාරිකයින් කිහිපදෙනෙක් ඒ මාධ්ය ප්රහාරය වැරදි බව කියන්නට උත්සාහ කළහ. ඔවුන් ඊට ඉදිරිපත් වන්නට ඇත්තේ, මෙය සිය ආන්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහි ප්රහාරයක් ලෙස ඔවුන් තේරුම්ගත් නිසා වියහැකි ය. ඒත් ඒක රජාගේ ආරක්ෂාවට මැස්සාට කඩුවෙන් කෙටීමේ ජාතියේ අමනකමකි.
ඔවුන් කියාසිටියේ 'මේ ලිපියෙන් නිද්රේෂ කර ඇත්තේ ලසන්තගේ රියදුරා පැහැරගැනීමේ 'නඩුවට' (එවැනි වෙනම නඩුවක් කිසිම තැනක නැත!) අදාළ සැකකරුවන් නිදහස් කරන ලෙස පමණක් බව ය.
මේ පහත ඇති නීතිපතිගේ ලිපිය බලා එවැනි නිගමනයකට එන්නට ඒ පුද්ගලයන්ට දිවැස් තිබුණේ ද? එහෙම කතාවක් මේ ලිපියේ තිබෙන්නේ කොතැනද? කොටින්ම එහි රියදුරකු ගැන කිසියම් ම හෝ සඳහනක් තිබේද?
සමාජ මාධ්යවලට උත්තර හදාදුන්නාද?
සමාජ මාධ්යවලින් උත්තර හදාගත්තාද?
- - - - - -
නීතිපති ජනාධිපතිවරයා හමුවේ කියන්නේත් හරියටම මේ දේශපාලන ක්රියාකාරිකයන් සමාජමාධ්යයේ කියාඇති දේම ය. ඒ අනුව සමාජමාධ්යවල ප්රතිඋත්තර බැඳීම හා ජනාධිපතිවරයා හමුවේ නීතිපතිගේ කරුණු පැහැදිළිකිරීම සපුරා එකිනෙක සමපාත වේ. ලියුම ලීක් වූ දා සිට සමාජ මාධ්යවල කිහිපදෙනෙක් කියමින් සිටි රියදුරු පැහැරගැනීමේ කතාව ගෙඩිය පිටින්ම නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ අතහැරියේ ය.
මෙහිදී සමාජ මාධ්ය ප්රහාරයට මුහුණදීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව පළමුව ජාතික ජනබාලවේගයට සම්බන්ධ සමාජ මාධ්ය ක්රියාකාරිකයන් පිරිසක් අල්ලාගෙන ඔවුන්ට මේ කතාව කියා දී, මේ ප්රශ්නය ගොඩින් බේරාගැනීමට උත්සාහකළාදැයි යන සාධාරණ සැකය ඇතිවන්නේ, අවසන ඔවුන්ම ජනාධිපතිවරයා හමුවේ කියන්නේත් ඒ කතාවම වීම හේතුවෙනි. අර සමාජ මාධ්ය කතාත්, ජනාධිපති හමුවේ නීතිපතිම කියන කතාත් එක සමාන බැවින්, එක්කෝ නීතිපති සමාජ මාධ්යයට ඒ විස්තරය දී තිබිය යුතු ය. නැතිනම් නීතිපති සමාජමාධ්යවල ගිය ඒවා බලාගෙන සිය නිදහසට කාරණය හදාගත්තා විය යුතු ය. ඇත්තටම සිදුවූයේ මින් කුමක්දැයි අපි නොදනිමු.
නීතිපති අවුරුදු 5ක් මොකද කළේ?
- - - - - -
ලසන්ත ඝාතනයේ සීඅයිඩී විමර්ශන නිල වශයෙන් නැවතී නැත. 2019 සිදුවූ ගෝඨාභයගේ ආගමනයෙන් පසු සිදුවූයේ එම විමර්ශන සිදුකරමින් සිටි නිලධාරීන්ගෙන් දේශපාලනිකව පලිගැනීම නිසා විමර්ශන ඇනහිටීම ය. විමර්ශන අධීක්ෂණය කළ ශානි අබේසේකරට එරෙහිව ගෝඨාභය දැවැන්ත පළිගැනීමක් දියත් කළේ ය. විමර්ශන භාරව කටයුතු කළ නිශාන්ත සිල්වාට පණබේරාගෙන රටින් පලායන්නට සිදුවිය. විමර්ශනයට සම්බන්ධ වී සිටි තවත් සීඅයිඩී නිලධාරීන් රැසකට දඬුවම් මාරු ලබාදී, විමර්ශන කඩාකප්පල් කරදැම්මේ මෙයින් අවුරුදු 5කට පෙර ය. ඉන් අනතුරුව ‘අටවන ලද ආණ්ඩුවේ’ රාජපක්ෂ ගැලවුම්කරු ලෙස ඔටුනු පලන් රනිල් වික්රමසිංහ ද සිටියේත් මේ විමර්ශන යටිබඩේ ගසාගෙන ය.
ඒ ගතවූ මුළු කාලයේදී ම නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශනවල තත්ත්වය ගැන කී වතාවක් සීඅයිඩීයෙන් විමසා තිබේද? විමර්ශන ඉදිරියට කරගෙන යාම ගැන කී වතාවක් සීඅයිඩීයට උපදෙස් ලබාදී තිබේද? අවුරුදු 5ටම මේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ගත් කිසියම් ම හෝ පියවරක් තිබේද?
ඇයි මේ කලබලේ?
- - - - - -
එවැනි කිසිදු පියවරක් වසර පහකු පුරාවට නොගෙන දෑස් පියාගෙන සිට, දැන් මේ හදිස්සියේ සියලු සැකකරුවන් නිදහස් කරන්නැයි නීතිපති ලියුම් ගසන දේශපාලන මොහොත කුමක්ද යන්න සලකාබැලීම ද මේ යටිකූට්ටු වැඩේ තේරුම්ගැනීමට වැදගත් ය.
අලුත් ජනාධිපතිවරයෙක් සහ අලුත් ආණ්ඩුවක් පත්වී තිබේ. ජනමාධ්යවේදීන්ට එරෙහි අපරාධ ඇතුළු රාජ්ය අපරාධ සම්බන්ධයෙන් ඇණහිට ඇති විමර්ශන යළි විධිමත්ව පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් දෙන බව ඔවුහු පුනපුනා පොරොන්දු දී ඇත්තාහ. මේ විමර්ශනවලට සිදුවන්නේ කුමක්දැයි විශාල පිරිසක් ඇසගසාගෙන සිටිති. ඒ ගැන බලවත් කතාබහක් සමාජයේ පවතී. ඒවා පරක්කු වන බවට චෝදනා ද නැඟෙමින් පවතී.
අලුත් විමර්ශන මාර්ගයකට දොරක් ඇරේදැයි දැඩි උනන්දුවක් හා කතාබහක් දැල්වී ඇති මෙන්න මේ මොහොතේ, අවුරුදු 5ක් තිස්සේ නිදාගෙන සිටි නීතිපති දෙපාර්තමේන්තුව, ඉන්නා සැකකරුවන් තුන්දෙනාත් නිදහස්කර ගෙදර යවා, ලහි ලහියේ නඩුපොත වසාදමන්නට දහංගැටයක් ගසා තිබේ.
ලසන්ත විමර්ශනය ගැන අලුත් කතිකාවක් ඇතිව තිබියදී මෙන්ම, යහපාලන ආණ්ඩුව යටතේ විමර්ශන සිදුවන විට ඒවා අධීක්ෂණය කළ, පසුව ගෝඨාභයගේ පලිගැනීමට ලක්වූ ශානි අබේසේකර යළි යම් වගකීමක් සහිත තනතුරකට පත්කර සිටියදී, ඒ විමර්ශන සිදුවන කාලයේ සීඅයිඩීයේ ප්රධානියා ලෙස සිටි රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්යාංශ ලේකම්වරයා වී සිටියදී, මේ ලියුම ගහන්නට පෙර, මේ විමර්ශනවලට සිදුවන්නට යන්නේ කුමක්දැයි නිකමට හෝ සීඅයිඩියෙන් විමසා සිටින්නට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේද? එසේනම් ඒ කවදාද? ලැබුණු පිළිතුරු මොනවාද?
2018 තිබූ ප්රමාණවත් සාක්කි දැන් ගඟේ ගිහින්?
- - - - - -
ජනාධිපතිවරයා සමඟ ඊයේ සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහභාගී වූ එක් නිලධාරියෙක් වන්නේ එහි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරයකු වන ජනක බණ්ඩාර ය. මේ ජනක බණ්ඩාර ම යහපාලන ආණ්ඩුව පැවැති සහ ගෝඨාගේ හෝ රාජපක්ෂවරුන්ගේ ආගමනයක් ගැන කිසිදු පූර්ව අපේක්ෂාවක් නොපැවැති 2018 අප්රේල් මාසයේ ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයේ පෙනීසිටිමින් කියාසිටියේ, ප්රසන්න නානායක්කාර ඇතුළු මේ නඩුවේ සැකකරුවන් සාක්ෂි වසංකර හා විනාශකර ඇතිබව ඔප්පුකිරීමට ප්රමාණවත් සාක්ෂි ලැබී ඇතිබවත්, තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්ය වන්නේ ඔවුන් ඒ වරදට අමතරව ලසන්ත ඝාතනයටත් සම්බන්ධද යන කරුණ ගැන බවත්, එබැවින් විමර්ශන පහසුවීම සඳහා සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් ය.
එදා නානායක්කාරට එරෙහිව ප්රමාණවත් සාක්ෂි හමුවී තිබූ ජනක බන්ඩාරලාගේ අතින්, වසර 7කට පසු ඒ සාක්ෂි හැලීගොස් ඇති බවකි මේ ලිපියෙන් පෙනෙන්නේ.
මේ තියෙන්නේ පිස්සුපූසා කොමිසමේ නිර්දේශ යි!
- - - - - -
පිස්සු පූසා කොමිසම නමින් ප්රසිද්ධියට පත්, උපාලි අබේරත්න ගේ සභාපතිත්වයෙන් ගෝඨාභය විසින් පිහිටුවන ලද ‘දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීමේ’ අපකීර්තිමත් හා විසුළුකාරී ජනාධිපති කොමිසම විසින් උදලාගම සහ නානායක්කාර සම්බන්ධයෙන් ඉදිරිපත් කරනලද නිර්දේශ වූයේ ද, ඔවුන් මුළුමනින් නිදොස්කොට නිදහස් කළයුතු බව සහ දේශපාලන පළිගැනීම්වලට ලක්වී ඇති බැවින් ඔවුන්ට වන්දි ලබාදිය යුතු බව ය. මේ පිස්සුපූසා කොමිසමට එරෙහිව අභියාචනාධිකරණයේ රීට් ආඥාවක් ගැනීමට හා ශ්රේෂ්ඨාධිකරණයෙන් එම කොමිසමේ තීන්දු මුලුමනින් අකර්මණ්ය කර කොමිසම අවඥාවට ලක්කරවීමට මූලික මානව හිමිකම් නඩු දැමූ ගොඩේ වත්මන් ජනාධිපති, එදා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අනුර ද සිටියේ ය.
ඒ අනුර ජනාධිපති වී සිටිය දී, ඒ රාජ්යයේ ම නීතිපති දැන් ක්රියාත්මක කරන්නට හදන්නේ ජනාධිපතිත් මැදිහත් වී බ්ලාස්ට් කර දැමූ පිස්සුපූසා කොමිසමෙන් උදලාගමට හා නානායක්කාරට ලබාදුන් නිර්දේශ ය.
ඊළඟට, හෙට ඔවුන් ගිහින් මානව හිමිකම් නඩුවක් දැම්මොත්, මෙවැනි නීතිපති දෙපාර්තමේන්තුවක් තිබියදී ඔවුන්ට වන්දිත් ගෙවන්නට සිදුවීමෙන් ‘පිස්සුපූසා’ කොමිසමේ නිර්දේශ සර්ව සම්පූර්ණ වනවා ඇත.
දැනගන්නට ඇති අන්දමට නීතිපති දෙපාර්තමේන්තුවට තමන් අන්දන්නට බැරි බව ජනාධිපති අනුර දිසානායක මෙම සාකච්ඡාවේ දී පැහැදිළිව පෙන්වා ඇති අතර, කටයුතු සිදුවන්නේ මේ අන්දමට නම් අකැමැත්තෙන් වුවත් දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවන බව ප්රකාශකර තිබේ.
අපට කියන්නට ඇත්තේ ඒවා ප්රකාශ පමණක් වීමෙන් වැඩක් නැති බවත්, නොපමාව ක්රියාවට නැඟිය යුතු ක්රියාකාරකම් බවත් ය.
මේ සිදුවූ දැවැන්ත අවමානයෙන් හා පරාජයෙන් යන්තමට හෝ ජාම බේරාගන්නට ඔය දෙපාර්තමේන්තුව හෙට තවත් දහංගැටයක් ගහනවා නො අනුමාන ය.
“ඉස්සරහට අපි හොඳළමයි වෙනවා!”
- - - - - -
ඉදිරියේ දී මේ ආකාරයෙන් අත්තනෝමතිකව හා ඒකපාර්ශවීයව ක්රියා නොකර අදාළ විමර්ශන අංශ හා සාකච්ඡා කර විනිවිද භාවයකින් තීරණ ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වී ‘යහපත්හාමිලා’ ලෙස පිටව ගොස් ඇතිබව වාර්තා වේ.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති පාරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය හා නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර ඇතුළු නිලදාරීහු මේ සාකච්ඡාවට සහභාගී වී සිටියහ

උපුටා ගැනීම අවසන්

(2) Facebook

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu