අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දී ගත් වැදගත් තීරණ


පනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාව ඊයේ (27) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. 

1980 සැප්තැම්බර් 11 පිහිටුවන ලද මෙම සභාව වරින් වර රැස් වුවද, 1992 සිට 2020 දක්වා මෙම සභාව රැස් වී නොමැති අතර, 2020 රැස්වීමේදී පවා අපනයන ක්ෂේත්‍රය දියුණු කිරීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ක්‍රියාත්මක කර නොමැත. එනයින් 2025 වසරේ මෙම  සභාව රැස්ව අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ වසර 28කින් පසුව වීමද විශේෂත්වයක්. 

වෙළෙඳ, නාවික, වැවිලි කර්මාන්ත, කෘෂිකර්මාන්ත, කර්මාන්ත, රෙදිපිළි කර්මාන්ත, ධීවර, මුදල්, විදේශ කටයුතු, ක්‍රමසම්පාදන හා ග්‍රාමීය සංවර්ධන විෂයභාර අමාත්‍යවරු මෙම සභාවේ නියෝජිතයන් ලෙස කටයුතු කරනු ලබයි. ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජාතික අපනයන සංවර්ධන ප්‍රතිපත්ති හා වැඩසටහන් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීම දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරගනිමින් අපනයන ප්‍රමුඛ නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට යොමුව තිබුණා. 

එසේම ශ්‍රී ලංකාවේ පිහිටීම, මානව සම්පත සහ ස්වභාවික සම්පත් උපයෝගී කර ගනිමින් දීර්ඝ කාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් ඇති කිරීමද මෙහිදී අවධානයට ලක් වුනා. 

ඒ හරහා බිඳ වැටී ඇති දේශීය නිෂ්පාදන කර්මාන්ත නැවත පණ ගැන්වීම, අපනයන කර්මාන්ත තරගකාරී කිරීම, සේවා කර්මාන්ත ප්‍රවර්ධනය, නව විභවයන් හරහා ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීම, ජාතික සැලැස්මකට අනුව සෘජු විදේශ ආයෝජන කැඳවීම, නව ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම, අඩු පිරිවැය, අවශ්‍ය යටිතල පහසුකම් සහ යෙදවුම් සැපයීම පිළිබඳව විශේෂ අවධානය යොමුව තිබෙනවා. 

එසේම නව රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර එමඟින් 2024 වසරේ ඩොලර් බිලියන 16.1ක්ව පැවැති අපනයන ආදායම මෙම වසරේදී ඩොලර් බිලියන 18.2ක් දක්වා වැඩි කිරීමටත් 030 වන විට ඩොලර් බිලියන 36 දක්වා වර්ධනය කිරීමටත් අපේක්ෂා කරනවා. 

එසේම පහත සඳහන් තීරණද එම සාකච්ඡාවේ දී ගනු ලැබුවා. 

  • මෙරට පැමිණෙන සංචාරකයින් විසින් මිලදී ගනු ලබන භාණ්ඩ සඳහා ඇතුළත් වන බදු නැවත ලබා දීමේ පද්ධතියක්  (VAT REFUND SYSTEM) ගුවන් තොටුපළේ පිහිටුවීම
  • අපනයන නිෂ්පාදිත පරික්ෂා කිරීමේදී සිදු වන ප්‍රමාදය හා අකාර්යක්ෂමතා මඟහරවා ගැනීම සඳහා Manual  පද්ධතිය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ස්වයංක්‍රීය පද්ධතියක් (Scanning) කටුනායක ගුවන් තොටුපළේ ස්ථාපිත කිරිමට සැලසුම් කිරීම සහ ඒ සඳහා ප්‍රතිපාදන කර්මාන්ත අමාත්‍යාංශයෙන් වෙන් කිරීමට එකඟ වීම.
  • ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන දුම්රිය එංජින් අපනයන සඳහා බාධාවක්ව පැවැති, "දුම්රිය එංජින් පරීක්ෂා කිරීම" මෙරට තුළ සිදු කිරීමට අවසර ලබා දීම.
  • අපනයන කර්මාන්ත තුළ පිරිවැය අඩු කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හඳුන්වා දීම, නවීන තාක්ෂණය උපයෝගි කර ගෙන පිරිවැය ඵලදායිතාව ඇති කරමින් විදුලිබලය ඉතිරි කරන අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කිරීම.
  • අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා ව්‍යවසායකයින්  හා  ආයෝජකයින් මූලික කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෙස් (CESS) අරමුදලින් ප්‍රතිපාදන ලබා දීම.
  • අපනයන කර්මාන්තය තුළ සිදු කරන දේශිය හා විදේශිය ආයෝජන දිරි ගැන්වීම සඳහා ආයෝජන පහසුකම් සැලසීමේ කමිටුවක් (Investment Facilitation Committee) ස්ථාපනය කිරීම.
  • නිවැරැදිව අපනයන අගය හඳුනා ගනු ලබන ක්‍රමවේදයක් තුළින් අපනයනය කරනු ලබන මැණික් හා ස්වර්ණාභරණ සඳහා අපනයන දිරිගැන්වීම් ලබා දීම
  • මෙරට තුළ නිෂ්පාදනය කරන විද්‍යුත් උපකරණ හා විද්‍යුත් උපාංග අපනයනය සඳහා රජයේ අවධානය යොමු වී තිබෙන අතර, මේ සඳහා අමුද්‍රව්‍ය ආනයනයේදී තීරුබදු පහසුකම් ලබා දීම.
  • ඉහත සඳහන් තීරණ ක්‍රියාත්මක කිරීමේදී අපනයන කර්මාන්තය ආශ්‍රිත දත්ත පද්ධති ඩිජිටල්කරණය කිරීමට විශේෂ අවධානය යොමු වීම.
  • සේවා අපනයන දිරි ගැන්වීම  සඳහා බැංකු ඇපකර සීමාව වැඩි කිරීම  පිළිබඳවද මෙහිදී අවධානය යොමු වීම.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu