රජයේ ඉදිරි වැඩකටයුතු සඳහා ලෝක බැංකුවේ සහාය


ලෝ
ක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (04)  ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී නව රජයට සුබ පැතුම් එක් කළ අයියර් මහතා, රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බවත් දැනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන සියලුම ව්‍යාපෘති ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බව ත් සඳහන් කලා.

එසේම නව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් මෙන්ම, ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සඳහා වන සැලසුම්, ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති හා සැලසුම් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරුණා.

වතුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටලුව ඇතුළු උතුරු සහ නැගෙනහිර ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කතාබහට ලක් වුණා. මෙරට කෘෂිකර්මාන්තය, ධීවර, සංචාරක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන බව ජනාධිපතිවරයා මෙහි දී පැවසුවා.

රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙමින් එහි ආරම්භක පියවර ලෙස මෙරට උපදේශන කණ්ඩායමක් සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ද අයියර් මහතා මෙහිදී සඳහන් කලා. කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu