ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.
ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා.
එමෙන්ම නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩු වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් QRකේත ක්‍රමයක් හඳුන්වා දීමටද තීරණය කෙරුණා.