පරාටේ නීතිය අත්ති‍ටුවීම යලි දීර්ඝ කෙරේ


මෙ
රට පැවති පාස්කු ප්‍රහාර මාලාව, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2024 දෙසැම්බර් 15 දක්වා අත් හි‍ටුවීමට පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබුණා. 

එලෙස අත් හිටවූ පරාටේ නීතිය නැවත ක්‍රියාත්මක කල යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ප්‍රකාශයක් ද කර තිබුණා. 

නමුත් මෙම පරාටේ නීතිය අත්හි‍ටුවීම දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම් මඟින් ඉල්ලීම් කර තිබුණා. 

1990 අංක 04 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ බලපත්‍රලාභී සෑම වාණිජ බැංකුවකට ම මෙම පරාටේ නීතිය ක්‍රියාත්කම කිරීමේ බලතල හිමි වූ අතර මෙම පරාටේ නීතිය මඟින් සිදු කරන්නේ යම් දේපළක් බැංකුවට උකස් කර යම් කිසි පුද්ගලයෙක් ණය මුදලක් ලබා ගත් පසු නියමිත කාලවකවානුවලදී එම ණය සහ ඊට අදාළ පොලී මුදල එම පුද්ගලයාට ගෙවීමට නොහැකිව බැංකුවට ණය මුදල ගෙවීම දිගින් දිගටම පැහැර හරින අවස්ථාවේ දී අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය අය කර ගැනීමට ක්‍රියා කිරීමයි. මෙවැනි අවස්ථාවක දී එසේ උකස් කළ දේපළ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුව ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එයින් බැංකුවට අය විය යුතු ණය හා පොළී මුදල අය ගැනීම පරාටේ නීතිය යනුවෙන් සරලව හැඳින්වෙනවා. 

මේ වනටිට පවතින රජය විසින් නිරීක්ෂණය කර ඇත්තේ දේපළ වෙන්දේසි කිරීමට ඉඩ දීම වෙනුවට එවැනි ණය ආපසු ගෙවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දීම මඟින් දෙපාර්ශ්වයටම සාධනීය විසඳුමක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වඩා සුදුසු බවයි. ඒ අනුව මෙම පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හි‍ටුවීම 2025 මාර්තු 31 දක්ව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

එසේම මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම ගැටලුව විසඳීමට බහුමාන යාන්ත්‍රණයක් සකස් කිරීමට වූ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිව තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu