දීඝදන්තු වැනි තවත් ලස්සන ඇතෙක් සැරිසරයි

ලාවැව ජාතික වනෝද්‍යානය සහ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය කේන්ද්‍ර කරගනිමින් වාසය කළ විශාලත්වයෙන් වැඩිම දළ යුගල සහ වයසින් වැඩිම හස්තියා වූ දීඝදන්තු 1 හස්තියා අවාසනාවන්ත ලෙස විදුලිසැර වැදීමෙන් පසුගිය දා ජීවිතක්ෂයට පත් වුණා. 

 අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම හස්තියා මිය ගියේ ගල්කිරියාගම ආඩියාගල ප්‍රදේශයේ දීයි. දීඝදන්තු 1 හස්තියා වෙනුවෙන් සත් දින දානමය පිංකමක් ද ඊයේ දිනයේ පවත්වා තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව මෙන්ම සත්ව සංවිධාන රැසක පිරිස්ද මේ සඳහා එක්ව තිබුණා.

අනාරක්ෂිත විදුලි රැහැන් ඇද තිබූ අත්අඩංගුවට ගත් නිවෙස් හිමිකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය තීන්දු දී තිබුණේ. 

මේ අතර දීඝදන්තු හස්තියා මෙන්ම දිග දළ යුගලක් සහිත ඇතෙකු එප්පාවල එළිය දිවුල්වැව ප්‍රදේශයේදී එප්පාවල - තලාව මාර්ගය හරහා ගමන් කරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබෙනවා. 

මෙවැනි අලි ඇතුන් පසුගිය කාලයන්හිදී ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ අතර බලධාරීන්ගේ නිසි අධීක්ෂණයක් සහිතව මෙවැනි වටිනා සම්පත් ‍රැක ගත යුතුව තිබෙනවා. 

මේ අතර, කෘෂිකර්ම, පශූ සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා ඇත්තේ වගා හානි කරන සතුන්ට එරෙහිව වගා බිමකදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව ඇති බවත් ඒ සදහා නීතියෙන් බාධාවක් නොමැති බවත් ය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu