වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ නිධානයක් හෑරීම සම්බන්ධයෙන් පසුගියදා බොහෝ කතා බහට ලක් වූ කාරණයක්. එය අධිකරණ නියෝගයක් මත නිධානයක් හෑරූ පළමු අවස්ථාව ලෙස ද සඳහන් වුණා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ දී අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී පවසා ඇත්තේ එම ප්‍රදේශයේ නිධන් හෑරීමට හෝ නිධන් හාරා පොළොව අභ්‍යන්තරයේ ඇති පුරාවස්තු පිටතට ගැනීමට කිසිදු නියෝගයක් නිකුත්කර නොමැති බවයි.
මෙම කැණීමට අදාළව ලබා දුන් වාර්තාව අනුව පොළව අභ්‍යන්තරයේ ඇති පුරාවස්තු නොවන ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් සිදු කරන ලෙස නියෝගයක් ලබා දුන් බවයි මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ.
පසුගිය 12 වෙනිදා ලබා දුන් එම නියෝගය පරිදි සිදු කල පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව ඇති බැවින් කැණීම් සිදුකළ ස්ථානය පරීක්ෂා කරන ලද කළුගල් ද යොදා වසා දමන ලෙසයි මහේස්ත්‍රාත්වරයා වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත නියෝග කර තිබෙනවා.
වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ග රක්ෂිතයේ නිධන් වස්තු ඇතැයි පැවසෙන ස්ථානය පසුගිය සතියේ දින තුනක් තිස්සේ කැණීම් කරනු ලැබූවත් ඉන් කිසිවක් හමු වී තිබුණේ නැහැ.