2024 නොවැම්බර් 06 වැනිදා සිට මාර්ගගත පාස්පෝට් ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු සලසා තිබෙනවා.
මහජනතාවට ජාතික හැඳුනුම්පත භාවිතා කරමින් පාස්පෝට් ලබා ගැනීම සඳහා දිනක් වෙන් කර ගැනීමට හැකියාව ඇති බවයි ආගමන හා විගමන අතිරේක පාලක ජනරාල් නිලුෂා බලසූරිය මහත්මිය පවසා ඇත්තේ.
මේ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස "විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම" යන සබැඳියට පිවිසීම තුළින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන්කර ගැනීමේ හැකියාව පවතිනවා.
අන්තර්ජාල පහසුකම් සහිත ඕනෑම පරිගණක යන්ත්‍රයකින් හෝ ජංගම දුරකථනයකින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ හැකියාව මහජනතාව වෙත ඇති බැවින් කිසිදු වෙනත් ආයතනයක් හෝ පාර්ශවයක් වෙත මුදල් ගෙවීමෙන් වළකින ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කර සිටින්නේ. නීත්‍යානුකූල නොවන ලෙසට මාර්ගගත ක්‍රමවේදයට ප්‍රවිෂ්ඨ වීමට උත්සාහ කිරීම දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව තවදුරටත් ප්‍රමාද වීමට හේතුවක් විය හැකි බවද ප්‍රකාශ කර සිටිනවා.
දිනයක් වෙන් කර ගැනීමේදී ඇතිවන තාක්ෂණික ගැටලුවලට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය දුරකථනය වන 1919 හරහා පිළිතුරු ලබාගත හැකි අතර, ඉතා නුදුරු දිනකදී ආගමන හා විගමන දෙපාර්තමේන්තු තොරතුරු කේන්ද්‍රය වන 1962 හරහාද මෙම නව මාර්ගගත ක්‍රමවේදය පිළිබඳ ඇති වන ගැටලු විමසීමේ හැකියාව තිබෙනවා.
දිනයක් වෙන් කර ගැනීම සඳහා මින් ඉදිරියට දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස මහජනතාව වෙත කාරුණිකව දැනුම් දී තිබෙනවා.