පරාටේ නීතිය යළි ක්‍රියාත්මකවන ලකුණු ?


ම් දේපළක් බැංකුවට උකස් කර යම් කිසි පුද්ගලයෙක් ණය මුදලක් ලබා ගත් පසු නියමිත කාලවකවානුවලදී එම ණය සහ ඊට අදාළ පොලී මුදල එම පුද්ගලයාට ගෙවීමට නොහැකිව බැංකුවට ණය මුදල ගෙවීම දිගින් දිගටම පැහැර හරින අවස්ථාවේ දී අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය අය කර ගැනීම සඳහා බැංකු වෙත බලයක් ලබා දී තිබෙනවා. 

මෙවැනි අවස්ථාවක දී එසේ උකස් කළ දේපළ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුව ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එයින් බැංකුවට අය විය යුතු ණය හා පොළී මුදල අය ගැනීම පරාටේ නීතිය යනුවෙන් සරලව හැඳින්වෙනවා. 

මෙම පරාටේ නීතිය යටතේ වූ බලතල 1990ට පෙර දී ලබා දී තිබුනේ ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වැනි රාජ්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වූ බැංකු සඳහා පමණක් වූ අතර 1990 අංක 04 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ බලපත්‍රලාභී සෑම වාණිජ බැංකුවකට ම මෙම බලතල ලබා දී තිබෙනවා.

පාස්කු ප්‍රහාර මාලාව, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ කඩාවැටීමකට ලක්වීමෙන් පසු සාමාන්‍ය ජනතාව මෙන් ම ව්‍යාපාරික ප්‍රජාව ද අසරණ තත්ත්වයකට පත්වූ අවස්ථාවක දී මෙම පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත් හි‍ටුවීමට පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා. 

එලෙස අත් හිටවූ පරාටේ නීතිය නැවත ක්‍රියාත්මක කල යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබෙනවා. කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu