පසුගිය 22 වනදා පාකිස්ථානයේ අධිකරණ නියෝගයක් මත මුස්ලිම් දේවස්ථානයක නිරීක්ෂණයක් සිදු කිරීමට යාමේදී එහි ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර ගැටුමක් හටගෙන තිබුණා.
මෙම ගැටුම් උත්සන්න කරමින් පාකිස්ථානයේ වයඹ දිග ප්‍රදේශයේ නිකායික ප්රචණ්ඩත්ව ගැටුම් හටගෙන තිබෙනවා. මෙම ගැටුම්වලින් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 156 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
ගැටුම් උත්සන්න වීමත් සමඟම එරට අන්තර්ජාල සේවා අත් හිටුවා ඇති අතර පාසැල් ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, සිරගතකර සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ඉස්ලාමාබාද් අගනුවර විරෝධතාවයන් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බැවින් අගනුවර සම්පූර්ණයෙන්ම වසා දමා අගුළු ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජංගම දුරකතන සබඳතා ද තාවකාලිකව අත් හිටුවා ඇති අතර ඉස්ලාමාබාද් අගනුවරට පැමිණෙන අධිවේගී මාර්ග සහ අනෙකුත් මාර්ග බොහොමයක් බහාලුම් යොදා අවහිර කර ඇති බව සඳහන්.