ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අතර ඊයේ (18) සාකච්ඡාවක් පැවැත්වුණා.
රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව මෙහිදී නැවත වරක් තහවුරු කරනු ලැබූ බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
මේ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම මැතිවරණයෙන් ලබාගත් ජයග්‍රහනය පිළිබඳව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කර ඇති අතර නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබෙනවා.
IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම මත බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම රජය කැපවීමෙන් කටයුතු කරන බව මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳවද සලකා බලා සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. මා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහයෝගය ලබා දීම ආදී අත්‍යවශ්‍ය සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින්, සමාජ සේවා සඳහා වන ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරන බවට ද මම මෙහිදී ජනාධිපතිවරයා සහතික වී තිබෙනවා.
සමාජ සේවා වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළ අතර, සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම සහ භාවිතය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳවද මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. රට පාලනය කිරීම සහ දූෂණයට එරෙහි වීම යන කරුණු පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. ජනතාව ලබා දුන් ජනවරමේ ප්‍රධාන අංගයක් වන දූෂණයට එරෙහි සටන සඳහා තමන් හා තම රජය කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළා. එම කටයුතුවල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ අනෙකුත් ආයතනික ව්‍යුහ වැඩිදියුණු කිරීම සඳහා රජය දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී IMF කණ්ඩායම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
මෙම හමුව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාවයේ සාධනීය ඉදිරි පියවරක් සනිටුහන් කරනු ලැබූ අතර, එමඟින් ආර්ථිකය ප්‍රතිසාධනය සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූලික වටපිටාව සකස් කර ඇති බවයි සඳහන් වන්නේ. කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වුණා.