ඡන්ද දායකයින්ට සහ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසන් සභාවෙන් ලබාදුන් උපදෙස්


2
024 පාර්ලිමේන්තු මැතිවරනයේ නිල ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා. යම් ඡන්දදායකයෙකුට තමන්ට නියමිත නිල ඡන්ද පත්‍රිකාව මෙතෙක් ලැබී නොමැති නම් ඔවුන්ට ඔවුන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳව විමසීම් කල හැකියි. තමන්ගේ අනන්‍යතාවය තහවුරු කර එම නිල ඡන්ද පත්‍රිකාව ලබා ගැනීමට හැකියාව තිබෙනවා. නිල ඡන්ද පත්‍රිකාව නොමැතිව වුවත් ඡන්ද දිනයේ දී තමන්ගේ හැඳුනුම්පත භාවිතා කර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබෙනවා. ඡන්දය භාවිතා කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය වනවා. 

ඒ සඳහා වලංගු හැඳුනුම්පත්ලෙස

  • ජාතික හැඳුනුම්පත (පැරණි හෝ නව)
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • වලංගු රියදුරු බලපත්‍රය
  • රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත (පැරණි/ඊ-හැඳුනුම්පත)
  • වැඩිහිටි හැඳුනුම්පත
  • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති පූජ්‍ය හෝ පූජක හැඳුනුම්පත
  • කාඩ්පත් නොමැතිකම නිසා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය
  • ආබාධිත පුද්ගලයින් සඳහා මැතිවරණ කොමිසන් සභාවෙන් නිකුත් කර ඇති හැඳුනුම්පත
  • මැතිවරණ කාර්යාලයෙන් ලබාගත් තාවකාලික හැඳුනුම්පත භාවිතා කල හැකියි. 

අපැහැදිලි හැඳුනුම්පත්, කාර්යාලීය හෝ සේවා හැඳුනුම්පත්, වෙනත් කිසිඳු හැඳුනුම්පතක් හෝ ඡායාරූපය සහිත වෙනත් කිසිඳු ලියවිල්ලක් වලංගු හැඳුනුම්පතක් ලෙස භාවිතා කල නොහැකියි. 

කායික දුබලතා ඇති පුද්ගලයින්ට සහායකයෙක් කැ‍ටුව යාමට සහ වාහනයකින් ගමන් කිරීමට අවශ්‍ය පුද්ගලයින් අවශ්‍ය ආකෘති පත්‍ර ග්‍රාමසේවක මඟින් ලබා ගෙන වෛද්‍ය සහ්තිකයද සමඟ අවශ්‍ය අනුමැතිය ලබා ගත යුතු වනවා. මැතිවරණ කොමිසන් සභාව විසින් වසර දහයක් සඳහා අබාධිත පුද්ගලයින්ට නිකුත් කර ඇති හැඳුනුම්පත තිබේනම් ඒ අයට වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය නොවේ.

ඡන්දය භාවිතා කිරීමේ දී වර්ණ ගන්වනු ලබන්නේ වම් අතේ දබර ඇඟිල්ලවේ. සියළුම ප්‍රචාරක කටයුතු 11වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 

ඡන්ද අපේක්ෂකයින් ඡන්ද කොට්ඨාශ සහ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් පිහි‍ටුවා ඇති කාර්යාල සියල්ල 12වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කර ගත යුතුවනවා. 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසුව තබා ගත හැකි වන්නේ පක්ෂ හා කණ්ඩායම් සඳහා මැතිවරණ කොට්ඨාශ එකක් වශයෙන් පිහි‍ටුවා ඇති කාර්යලයයි. ඒ දිනයේ සිට අපේක්ෂයකයන්ට එක් මැතිවරණ කොට්ඨාශයකට එක් කාර්යාලයක් පිහි‍ටුවා ගැනීමට හැකියාව පවතිනවා. එසේම අපේක්ෂකයාගේ නිවස කාර්යාලයක් ලෙස තවදුරටත් පවත්වාගැනීමේ හැකියාව පවතිනවා. නමුත් ඒ කාර්යාල කිසිවක සැරසිල්ලක් හෝ වෙනත් කිසිඳු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට හැකියාව නැහැ.

ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක් දුරින් යම් කාර්යාලයක් පිහි‍ටුවා ඇත්නම් එම කාර්යාලයේ තිබෙන සියළු සැරසිලි ඉවත් කල යුතුයි. එම පරාසය තුළ අපේක්ෂකයාගේ නිවස පිහිටා තිබුණද එහිද කිසිදු සැරසිල්ලක් සිදු කිරීමට අවසර නැහැ. 

මේ වතාවේ ඡන්ද පත්‍රිකා වර්ග දෙකක් ඡන්ද දායකයින්ට හිමිවනවා. පොළොන්නරුව, මොණරාගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා තනි පේළියක ඇති ඡන්ද පත්‍රිකාවක් හිමිවනවා. අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙන අනෙක් දිස්ත්‍රික්ක සඳහා පෙළි දෙකක් ඇති ඡන්ද පත්‍රිකාවක් හිමිවනවා. 

ඡන්දය ලකුණු කිරීමේ දී පළමුව තමන් කැමති පක්ෂය හෝ ස්වාධීන කණ්ඩාය ඉදිරියෙන් ඇති කො‍ටුවේ කතිර සලකුණක් යෙදිය යුතුයි. එය අත්‍යාවශ්‍යවේ. නැතිනම් ඡන්ද පත්‍රිකාව අවලංගු වේ. ඡන්ද පත්‍රිකාවේ පහළ කොටසේ ඇති අපේක්ෂකයින්ට ඉන් අනතුරුව මනාප තුනක් ලබා දිය හැකියි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu