සිසුවියන් දෙදෙනෙකුට මරු කැඳවූ බදුල්ල-දුන්හිඳ බස් රථ අනතුරේ තවත් තොරතුරු



ශ්‍රී
මත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් පිරිසක් ගමන් ගත් බස් රථයක් බදුල්ල දුන්හිද ප්‍රදේශයේ අනතුරට ලක්වීමෙන් සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 

මෙලෙස මිය ගොස් ඇත්තේ, 23 හැවිරිදි නිවිතිගල හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ ශිෂ්‍යාවන් දෙදෙනෙක් බවයි පැවසෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයින් 41 දෙදෙනෙකු සිට ඇති අතර බස් රථය මාර්ගයේ අනෙක් පස තිබූ කණ්ඩියක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබුණා. 

මේ වන විට බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් 6 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් තුවාල ලැබූවන් සාමාන්‍ය වාට්‍ටුවේ ප්‍රතිකාර ලබන බවයි බදුල්ල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ. එසේම සැත්කම් සිදු කිරීමට අවශ්‍ය රෝගීන් ඒ සඳහා කඩිනමින් යොමු කිරීමටද පියවර ගන්නා බවයි බදුල්ල ශික්ෂණ රෝහලේ, හදිසි වෛද්‍ය ප්‍රතිකාර අංශයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා ඇත්තේ. 

බස් රථයේ ගමන් ගත් 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසට යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙක්, උපදේශකයින් පස් දෙනෙක් සහ අභ්‍යාසලාභීන් ද ඇතුළත්වනවා. ඊයේ දිනයේ දී මෙම කණ්ඩායම පස්සර පැල්ගහතැන්න කළමනාකරණ ආයතනයේ නවාතැන් ගෙන තිබූ අතර අද දිනයේ දී යළි ක්ෂේත්‍ර චාරිකාව සඳහායි පිටත්ව ගොස් ඇත්තේ. 

අනතුරට හේතුව ස්ථිර වශයෙන්ම නිගමනය කර නැති නමුත් තිරිංග ක්‍රියා විරහිත වීම නිසා පල්ලම් සහිත මාර්ගයේ වේගයෙන් පැමිණි බස් රථය කණ්ඩියේ ගැටී ඇති බවට පොලීසිය සැක පල කරසිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu