පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්


සි
විල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙසටයි. 

එහි වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා යි.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වන දා දක්වා දින නියම කළ බවත් මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට  සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවත් පෙත්සමෙන් පෙන්වා දෙනවා. ඒ අනුව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වන දා සිට සති පහක කාලය  නොවැම්බර් මස 15 වන දා  අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වනවා.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුලත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.  මේ තුළින් ජනතා පරමාධිපත්‍ය  උල්ලංඝනය වීමක් සිදුවන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් වේ නම් එවැනි නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන අතර මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළත් ඉන් පලක් අත් නොවූ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu