පෙර පාසැල් පාලිකාවන්ද රවටා එහි අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගෙල බැඳි පංචායුධ සොරාගත් යුවළක් මහියංගනය පොලිසීය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යුවල තම දියණියගේ උපන් දිනයට පෙර පාසැල් දරුවන්ට ඇඳුම් සහ පාවහන් ලබා දීමට ඇවැසි බව එහි පාලිකාවන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව කුඩා දියණියක්ද සමඟ ඔවුන් දෙදෙනා පෙර පාසැල් වෙත පැමිණ ඇත්තේ දරුවන්ට ඇඳුම් ලබා දීම සඳහ මිනුම් ලබාගැනීමේ මුවාවෙන්.
එසේ මිනුම් ලබා ගන්නා අතරතුර මොවුන් දෙදෙනා දරුවන්ගේ ගෙල බැඳ තිබූ පංචයුධ සොරාගෙන ඇති බවටයි පැවසෙන්නේ. මේ ආකාරයෙන් මොවුන් දෙදෙනා මහියංගනය සහ රීදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල පිහිටි පෙර පාසල්වල දරුවන්ගේ පංචායුධ කොල්ලකා ඇති බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.
දියතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරු සහ කඳාන ප්‍රදේශයේ පදිංචි සැකකාරිය අත් අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලකන ලද පංචායුධ සමඟයි. මොවුන් දෙදෙනා තාවකාලිකව පදිංචි වී ඇත්තේ මහියංගනය ප්රදේශයේය.
මොවුන් දෙදෙනා මීට පෙර ද රෝගී පුද්ගලයින්ට සැත්කම් කිරීමට අවැසි බව පවසා මුදල් එක්රැස් කිරීමේ ජාවාරමක ද යෙදී ඇති බව සොයා ගෙන තිබෙනවා.
මෙම යුවළ සමඟ ඔවුන් සමඟ සිටි දැරිය ද අත් අඩංගුවට ගෙන ඇති අතර යුවළ සහ දියණිය මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.