හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඔහු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනුකර තිබූ අතර එහි විත්තිකරුවෙකු ලෙස ජෝන්ස්ටන් ප්‍රනාන්දු නම්කර තිබුණා.
නඩුවෙ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටි නමුත් පළමු විත්තිකරුවන ජෝන්ස්ටන් ප්‍රනාන්දු නඩුවට පැමිණ තිබුනේ නැහැ. එයට හේතුව වශයෙන් ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ අභියාචනාදීකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් නඩුකරයකට අදාළව ඊයේ දින ලබාදුන් ප්‍රතිඥාවකට අනුව, තම සේවා දායකයා අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙන බවයි.
එම හේතුව දැඩි ලෙස දෝෂාරෝපණයකට ලක් කල මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු නඩුවට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, ඔහු අධිකරණය හමුවට පැමිණීම වළක්වාලමින් කිසිදු ආකාරයක නියෝගයක් අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර නොමැති බවත් පවසා තිබෙනවා. විත්තිකරු නඩුවට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි විනිසුරුවරයා පවසා ඇත්තේ.
ඒ අනුව, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ කරුණු දැක්වීම මත විත්තිකරු ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විනිසුරුවරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
නඩුව ජනවාරි 27 වන දින දක්වා කල් තැබූ අතර එදිනට සියළුම සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා අවවාද කර තිබෙනවා.