සිරවී ඇති නෞකාවේ දිශානතිය වෙනස් කිරීම සඳහා ආසන්න වශයෙන් වැලි කියුබ් අඩි හත් ලක්ෂ 6000ක්වත් ඉවත් කිරීමට සිදුවන බවයි බලධාරීන් පවසන්නේ. එසේම නෞකාවේ ඇති බහාලුම් වලින් කොටසක් ද ඉවත් කල යුතු වනවා.
වර්තමානයේ සූවස් ඇලේ පාලන කටයුතු සිදු කරන්නේ Suez Canal Authority මඟිනි.
සූවස් ඇළේ මුළු දිග ප්‍රමාණය සැතපුම් 101කි. එනම් කිලෝ මීටර 163කි. පළල අඩි 984කි. එනම් මීටර 300කි. මෙම සූවස් ඇල හරහා ගමන් කර හැක්කේ උසින් මීටර් 19ක් හා බරින් ටොන් 210,000ක සීමාවේ පවතින නෞකාවලට පමණි. එසේම මෙහි බටහිර ඔවුර හරහා ඇළට සමාන්තරව දුම්රිය මාර්ගයක් ද පිහිටා තිබෙනවා.
නෞකා දෙකකට එකවර සූවස් ඇළ හරහා මාරු වීමට තිබෙන දුෂ්කරතාවය නිසා ධාවන තීරුවක් සහ නැවතුම් ස්ථාන කිහිපයක් ද ඉදිකර තිබෙනවා.
පැනමා ඇළෙහි මෙන් මෙහි ජල අඟුල් (Water Locks) නොමැති වන්නේ මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද එකම ජල මට්ටමක පැවතීම නිසයි. සුවස් ඇළ තරණය කිරීමට නෞකාවක් සඳහා සාමාන්‍යයෙන් පැය 11-16 අතර ප්‍රමාණයක් ගතවනවා.
සූවස් ඇළේ ගමන් කරන නෞකා හි නාවිකයින්ට උපදෙස් ලබා දී ඇත්තේ නැව් ගමනාගමනයේ දී ඇතිවන තරංග වලින් ඇළ දෙපස ඉවුරුවලට සිදුවන හානිය වැළැක්වීමට අඩු වේගයකින් යාත්‍රා කරන ලෙසයි. නැවේ වර්ගය, ධාරිතාව අනුව අය කෙරෙන ගාස්තුව තීරණය වනවා.
සුවස් ඇළ නිර්මාණය කිරීමේ වාසි
01. ආසියාතික රටවල් හා යුරෝපා රටවල් සහ එක්සත් ජනපදය ආදී රටවල් අතර සිදුවන ආනයන අපනයන කටයුතු සඳහා යොදාගැනෙන නාවුක ප්‍රවාහනයේදී කිලෝමීටර් 8900ක දුරක් සහ දින දහයක කාලයක් ඉතිරි කරදීම.
02. අප්‍රිකාවේ සුබ පැතුමේ තුඩුව (Cape of Good Hope) වටා නාවික සැතපුම් 11,300ක(කි.මී.20900ක) අධික දුරක් ගෙවමින් දින 24ක් වැනි කාලයකින් යුරෝපය වෙත ළඟා වීමට තිබූ අන්තරාදායක සහ නාවිකයන් වෙත අතිශය වෙහෙසකර මුහුදු ගමන, නාවික සැතපුම් 6400ක් හා දින 14කින් අඩු කරමින් වඩා ආරක්ෂාකාරී මෙන්ම ඵලදායී කිරීම.
ඒඅනුව සූවස් ඇළ හරහා යුරෝපීය රටවලට භාණ්ඩ ප්‍රවාහනයේ දී මුළු දුර ප්‍රමාණයෙන් 43%ක දුරක් ඉතිරි කර ගත හැකියි. එසේම ලෝකයේ සමස්ත නාවික ප්‍රවාහනයෙන් 10%ක දුර ප්‍රමාණයක් ආවරණය කරන්නේ සූවස් ඇළයි.
ලොව ආර්ථිකයට මෙතරම් බලාපෑමක් එල්ල කරන සූවස් ඇළ පිළිබඳව ඉතිහාස කතාව දිගහැරෙන්නේ මෙවන් ආකාරයටයි.
ක්‍රි.පූ 13 වැනි සියවසේ මධ්‍ය ධරණි මුහුද සහ රතු මුහුද ඊජිප්තුවේ නයිල් නදිය සමඟ සම්බන්ධ කිරීමට අදහසක් පැවතිය ද ක්‍රි.පූ 8 වන සියවසේ දි එය අත හැර දමා තිබුණා. එහෙත් සූවස් ඇළ ඉදිකිරීම සඳහා මුල්වරට අදහසක් පහළවන්නේ නැපෝලියන් බොනපාර්ට් නම් ප්‍රංශයේ කීර්තිමත් අධිරාජ්‍යයාටය.
නැපෝලියන අධිරාජ්‍යයා ක්‍රි.ව 1789 සහ 1799 යන කාලවල දී ආක්‍රමණශීලී ලෙස යුරෝපයේ රටවල්
ගණනාවක්ම යටත් කර ගැනීමට සමත් වුණා. එම කාලවල දී අධිරාජ්‍යයා තමන් යටත් කර ගත් ඊජිප්තුවේ සංචාරයක නිරත වීමේ දී සූවස් ඇල නිර්මාණය කිරීමේ අදහස පහළ වී තිබෙනවා.
නැපෝලියන් අධිරාජ්‍යයා තමන් යටතේ පාලනය ඇති මෙම ඇළ නිර්මාණය කිරීම තුළින් බලාපොරොත්තු වූයේ බ්‍රිතාන්‍ය නාවික වෙළඳ කටයුතුවලට බලපෑමක් ඇති කිරීම සහ ඇළ මාර්ගය යොදා ගනිමින් බ්‍රිතාන්‍යය විසින් සිදු කරන වෙළඳ කටයුතු සඳහා බදු මුදල් අය කර ගැනීමයි.
ඒ අනුව ක්‍රි.ව 1804 දී ඇළ මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ වුණා. එහෙත් ඉතා අවාසනාවන්ත ලෙස එම ඉදි කිරීම් අතරමඟදී නවතාලීමට සිදු වන්නේ මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද අතර තිබෙන මුහුදු මට්ටම ගණනය කිරීමේ කාර්යයේදී සිදු වූ වැරදි ගණනය කිරීමක් හේතු කොටගෙනයි.
ඉන්පසු නවතා දමා තිබූ ඉදිකිරීම කටයුතු නැවත ආරම්භ කිරීමට 1858දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවරයෙකු වූ ෆර්ඩිනන් ද ලෙසෙප් නැමැත්තා සමත්වනවා. ඒ තම රාජ්‍යතාන්ත්‍රික සබඳතා උපයෝගී කරගනිමින් සූවස් ඇළ ඉදිකිරීමට ඊජිප්තු රජයේ සහය සහ එකඟත්වය ලබාගැනීමත් සමඟයි.
ඒ අනුව 1858 දී Universal Suez Ship Canal Company යන සමාගම පිහිටුවනු ලැබූ අතර එම සමාගමට ඇළ මාර්ගය ඉදි කිරීමේ කටයුතු ඇරඹීම සහ අවුරුදු 99ක කාලයක් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට බලය පැවරෙනවා. ආරම්භයේ දී මෙහි බහුතර කොටස් හිමිකරුවන් වන්නේ ප්‍රංශයේ පෞද්ගලික ආයෝජකයින්ය.
1859 සැප්තැම්බර් 25 වන දින සූවස් ඇළේ ඉදිකිරීම කටයුතු ආරම්භ වන අතර සියළු වැඩ අවසන් කර 1869 නොවැම්බර් 17 වන දින එනම් ආරම්භයෙන් වසර 10කින් පසු සූවස් ඇළ නිල වශයෙන් විවෘත කරනු ලබනවා. මෙහි වියදම ඩොලර් මිලියන 100ක් බව සඳහන් වනවා. 1962 වන විට Universal Suez Ship Canal Company සමාගම වෙත අවසන් ගෙවීම සිදු කිරීමෙන් අනතුරුව සූවස් ඇළේ පරිපාලන කටයුතු ඊජිප්තු රජය විසින් පවරා ගන්නවා.
නමුත් ඉදිකිරීම කටයුතු සිදුවන අතරමඟ 1875 දී ආර්ථිකය බංකොලොත් වීම සහ අධික ණය බර නිසා ඊජිප්තු රජය විසින් සූවස් ඇළේ හිමිකාරීත්වය බ්‍රිතාන්‍ය වෙත පැවරීමට පියවර ගන්නවා.
1888 වසරේ දී ලොව සියළුම රටවල්වලට සූවස් ඇළ භාවිතා කිරීමේ හැකියාව හිමිවනවා. ඒ ජාත්‍යන්තර වශයෙන් ඇති කරගත් සම්මුතීන්වලට අනුවයි.
නමුත් විවිධ හේතූන් මත වරින් වර සූවස් ඇළේ ගමනාගමන කටයුතු නවතා දැමීමට සිදුවනවා.
ඉන් පළමු අවස්ථාව වන්නේ 1936 දී බ්‍රිතාන්‍ය විසින් සූවස් ඇළේ පරිපාලන කටයුතු සඳහා සිය හමුදාව යෙදවීම හේතුවෙන් ඇති වූ ගැටුම මත ගමනාගමන කටයුතු තාවකාලිකව නැවතීමයි. 1954 දී ඊජිප්තු රහය බ්‍රිතාන්‍ය සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුව සිය හමුදාව සූවස් ඇළ පාලන කටයුතුවලින් ඉවත් කර ගන්නා අතර 1956 වන විට අර්බුද නිමවනවා. ඒ අනුව 1957 මාර්තු මාසයේ දී නැවතත් සූවස් ඇල නාවික කටයුතු සඳහා විවෘත වනවා.
නැවත සූවස් ඇළේ ගමනාගමනය අත් හිටුවීමට සිදුවන්නේ 1960 හා 1970 යන දස වසර තුළයි. ඒ ඊජිප්තුව ඇතුළු අරාබිකරයේ රටවල් ඊශ්‍රාලය සමඟ ඇති කරගත් යුද ගැටුම් හේතුවෙන්.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්