වෙසක් උත්සවය යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය අදට (07) යෙදී තිබෙනවා.
බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන සිද්ධි 3ක් මෙහිදී සමරනු ලැබේ.
එම අවස්ථා නම් සිද්ධාර්ථකුමාරෝත්පත්තිය,ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම,පරිනිර්වාණය යන අවස්ථා ත්‍රිත්වය යි.
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූයේ කිතු උපතට වසර 624 කට පෙර (ක්‍රි.පූ.624 දී) උත්තර භාරතයේ (උතුරු ඉන්දියාවේ) ලුම්බිණි ග්‍රාමයේ සල් උයනක දී යැයි පිළිගැනේ.
ඒ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී ය. ශාක්‍ය වංශික සුද්ධෝදන රජතුමා හා මහාමායා දේවිය උන්වහන්සේ ගේ මව්පියෝ වූ හ. උපතින් සත් දිනකට පසු මහාමායා දේවිය මිය ගිය නිසා එතැන් සිට ළදරු කුමරා පෝෂණය කර,හදාවඩා රැකබලා ගත්තේ මහා ප්‍රජාපතී ගෝතමිය යි.
ඇය මහාමායා දේවියගේ සහෝදරිය යි. නාමකරණ මංගල්‍යයට ආ බ්‍රාහ්මණයෝ දේහ ලක්ෂණ හා තත්කාල හෝරා ආදී දේ අනුව බලා මේ කුමරා දිනෙක ලෝකයට අර්ථයක් සිද්ධ කරන බව දැක සිද්ධාර්ථ යන නාමය සුදුසු යැයි ප්‍රකාශ කළහ.
එතැන් සිට මේ පින්වත් කුමරා සිද්ධාර්ථ කුමාරයා යැයි ප්‍රකට විය. ගෝත්‍රයෙන් ගෝතම නම් වූ නිසා සිද්ධාර්ථ ගෞතමයෝ යැයි ද ප්‍රකට වූහ.
නෛමිත්ත පාඨකයන්ට අනුව මේ කුමරා යම් දිනක ගිහිගෙය හැර ගොස් ආධ්‍යාත්මික දිවියක් ගත කරන්නේ යැයි රජතුමා විශ්වාස කළ නිසා කෙසේ හෝ කුමාරයා ගිහිගෙයි නතර කරවා ගැනීමට අවශ්‍ය සියල්ල සූදානම් කළේය.
අවට ලෝකය දැකීමට කුමරාට අවස්ථාවක් නො දීම පිණිස මාළිගා භූමිය තුළ සියල්ල සම්පාදනය කළේ ය. එවක උත්තර භාරතයේ සිටි උසස් ම බමුණු ගුරුවරයෙකු වූ සර්වමිත්‍ර නම් බමුණා මාළිගයට ගෙන්වා කුමරාට ශිල්ප ලබා දුන්නේය.
පුරාණ භාරතීය සිරිතට අනුව වයස අවුරුදු 16 පිරුණු සැනින් සරණ මංගල්‍යය ද සිදු කළේ ය. ඇය කෝලිය කුලයේ යශෝධරා නම් කුමාරිය යි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ සරණ මංගල්‍යය දිනයේ ම නව මාළිගයකට පිවිසීමත්, රාජාභිෂේකයත් යන අවස්ථා ත්‍රිත්වය ම උදා කර දීමට සුද්ධෝදන රජු කටයුතු කළ බවයි.
දහසය දහසක් ස්ත්‍රියන් සහිත අන්තඃපුරයක් ද කුමරු උදෙසා වූ බව ද පැවසේ. කෙසේ වුව ද දිනක් උද්‍යාන ක්‍රීඩා පිණිස යන අතරතුර දී දුටු සතර පූර්ව නිමිත්තයන් නිසා ගිහි ගෙය කළකිරුණු කුමරාට මේ ජීවිතයේ සත්‍ය සොයා යෑමේ බලවත් ආශාවක් ඇති විය.
මේ සත්‍යය නො දකින මිනිසා සසර සැරිසරමින් අනන්ත දුක් පීඩා විඳිමින් සිටින වග දුටුවහ.
මිනිසත් බව ලැබීමේ මුඛ්‍ය පරමාර්ථය නොදැක කා බී සතුටු වීමෙන් පමණක් සෑහී නිස්සාර දිවියක් ගත කරන ආකාරයත් අවසානයේ දුකට පත්ව පසුතැවෙන ආකාරයත් දුටුවහ.
මේ සියල්ලන් වෙනුවෙන් සත්‍ය සොයා ගොස් ඒ සත්‍යය මේ සසරේ දැවෙන,තැවෙන මිනිසුන්ට ද අවබෝධ කොට දීමේ අවශ්‍යතාවයක් උන්වහන්සේ තුළ ඇති විය.
එහෙත් මේ සියල්ල සැලසුම් කරන අතරේ උන්වහන්සේට තවත් පණිවිඩයක් ලැබුණි. සිය බිරිඳ කුලුඳුල් දරුවා ප්‍රසූත කළ බවයි. මේ වනාහි සිය අරමුණ වෙත යාමේ දී යළි යළිත් සිතා බැලිය යුතු කාරණාවකි. දරුවා සමග බිරිඳ තනිකොට දමා යෑම උත්තම මිනිස් ක්‍රියාවක් නොවේ.
එහෙත් තමා මේ ගමන නො ගොස් සිටීමෙන් සෙත සැලසෙන්නේ සිය පවුලේ සාමාජිකයන්ට ම පමණි. ඒ ද තාවකාලික සතුටක් පමණි.
එහෙත් තමා මේ ගමන ගියහොත් සකල ලෝ වැස්සන්ට ම සදාකාලික සුවයක් අත් වන වග වග ද දුටහ. ඒ අනුව පියෙකුට, ස්වාමි පුරුෂයෙකුට ගත හැකි ඉතා ම අපහසු තීරණයට උන්වහන්සේ පිළිපන්හ.
සකල ලෝ වැස්සන් වෙනුවෙන් සිය පෞද්ගලික සුව පහසුව,සතුට,තනතුරු ඇතුළු සියල්ල අත්හැර අභිනිෂ්ක්‍රමණය කිරීමට තීරණය කළහ.
හිසකෙස් මුඩු කොට කසාවතින් සැරසී ආරණ්‍යගත වුණු උන්වහන්සේ ජීවිතයේ,සංසාරයේ සත්‍යය සොයා භාර්ගව, ආලාරකාලාම, උද්දකාරාම පුත්ත ආදී නොයෙක් ගුරුවරුන් වෙත ගියහ.
එහෙත් ඒ කිසිවෙකුත් මේ පිළිබඳ සත්‍ය අවබෝධයකින් පසු නො වන බව අවබෝධ කරගත් උන්වහන්සේ තනිව ම සිය ගමන යෑමට තීරණය කළ හ. ඊට අනුව ශරීරයට අධික දුක් දෙමින් අත්තකිලමථානුයෝගය අත්හදා බලන්නට තීරණය කළහ.
නිසි අහරක් නො ගෙන, සියලු සුඛ විහරණයන්ගෙන් ඈත් වී පුරා සය වසරක් මේ මගෙහි ගිය උන්වහන්සේ ඉන් පලක් නො වන වග දැන පසුව නව මගක් පිළිබඳ අවධානය යොමු කළ හ. පුරා නව විසි වසක් උපරිම සුඛ විහරණය කර අවබෝධ කර ගත නොහැකි වූ සත්‍යය, පුරා සය වසක් දුක්විඳ අවබෝධ කර ගැනීමට නො හැකි වූ සත්‍යය මැදි මගෙහි ගොස් අවබෝධ කර ගන්නට උන් වහන්ස් තීරණය කළහ.
ඊට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ උන් වහන්සේ නේරංජනා නදී තීරයේ ගයා ශීර්ෂයේ ඇසතු බෝ රුකක් සෙවණේ දී උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කර ගත්හ.
බෞද්ධ ජනයා සිතන පරිදි ඒ වනාහි මිනිසෙකුට අත්කරගත හැකි උත්තරීතරම බුද්ධි තත්ත්වය යි. ඒ සිදුවන්නේ කිතු උපතට වසර 588කට පමණ පෙර වෙසක් පුන් පොහෝ දිනකය.
එතැන් පටන් පුරා වසර 45ක් ලෝ වැස්සන් උදෙසා සිය කාලය, ශ්‍රමය කැප කළ ගෞතම බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80 දී ආයු සංස්කාරය කර පිරිණිවන් පා වදාළ සේක. ඒ මල්ල රට කුසිනාරා නම් නුවර උපවත්තන නම් සල් වනයේ දී ය. ඒ කිතු උපතින් වසර 423කට පූර්වයෙනි.
වෙසක් උත්සවය සේ බෞද්ධයන් ස්මරණය කරන්නේ මේ තෙමඟුල යි. මේ උත්සවය බුදු තෙ මගුල ලෙස ද, බුදු මගුල ලෙස ද, බෞද්ධ මංගල්‍යය ලෙස ද විශාඛ මහෝත්සවය ලෙස ද, වෛශාක්‍ය මංගල්‍යය ලෙස ද හැඳින්වේ.
වෙසක් උත්සවයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය පැරණි භාරතයේ පවා සැමරූ බව පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවෙන් පෙනෙයි.
ලංකාවේ ද ක්‍රි. පූ. දෙ වන ශතකයේ දී පමණ පවා මේ උත්සවය සැමරූ බව මහාවංසයේ සඳහන් වේ. ලංකාවට විවිධ කාලවල දී පෙර අපර දෙ දිගින් එල්ල වූ විදේශ ආක්‍රමණ අවස්ථාවලදී රාජ්‍ය මට්ටමේ උත්සවයක් ලෙස පැවත්වීමට නොහැකි වුව ද ලක් වැසි බෞද්ධයන් හැකි අයුරින් වෙසක් උළෙල සැමරූ හ.
ක්‍රි.පූ.දෙවන ශතකයේ ලංකාව පාලනය කළ දුට්ඨගාමිණී මහ රජතුමා වෙසක් උත්සව 24ක් ද, භාතිය රජු වෙසක් උත්සව 28ක් ද, වසභ රජු වෙසක් උත්සව 44ක් ද, පවත්වා ඇත.
මීට අමතරව වෝහාරතිස්ස රජු, ජෙට්ඨතිස්ස රජු, දළමුගලන් රජු, දෙවන සේන රජු ආදීහූ වෙසක් උත්සව පැවත්වීම සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රසිද්ධ වූහ.
පොළොන්නරු යුගයේ විසූ මහා පරාක්‍රමබාහු රජු වෙසක් උත්සවයට විශේෂ රාජකීය අනුග්‍රහයක් ලබා දුන්හ. දඹදෙණි යුගයේ විසූ පණ්ඩිත පරාක්‍රමබාහු රජු පැවත්වූ වෙසක් උත්සවයක් පිළිබඳව පූජාවලියේ විස්තර වේ.
බටහිර ජාතීන් ලංකාව පාලනය කළ කාලයේ වෙසක් උත්සවයට මහත් බාධා පැමිනුණි. ක්‍රි.ව.1770 දී විශේෂ පනතක් මගින් ලන්දේසීන් වෙසක් උත්සවය මෙරට රජයේ නිවාඩු දිනයක් නොවන බව ප්‍රකාශයට පත් කළහ.
එකල ආණ්ඩුකාර විලියම් ෆැල්ක් මේ සමයේ බුදුසමය තදින් ම මර්දනය කිරීමේ නිරත විය. 1815 දී උඩරට ගිවිසුමෙන් බුදුදහම ආරක්ෂා කරන බවට සුදු පාලකයන් එකඟ වුවත් එය හුදු වැකියක් පමණක් ම විය. 1848 නිදහස් අරගලයට පසු ඔවුන් ඒ මත දමා බුදු සසුන පිළිබඳ වගකීමෙන් ක්‍රමයෙන් නිදහස් වී කිතු දහම ප්‍රචාරය කිරීමේ නිරත වූහ.
1873 ජුනි 12 දින පානදුර වෙස්ලියන් දේවස්ථානයේ එවක දේවගැතිවරයා වූ දාවිත් සිල්වා විසින් බුදුදහම අසත්‍ය මිථ්‍ය ආගමක් සේ හැඳින්වීමේ සිද්ධියෙන් ඇරඹි වාද මාලාවෙන් බෞද්ධයන් ජය ගැනීමෙන් පසු එහි වාර්තා කියවූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය මෙරටට පැමිණියහ.
ඕල්කට් තුමා එවක යටත්විජිත භාර ලේකම් වරයා වූ ඩර්බිසාමිවරයා හා සාකච්ඡා කර වෙසක් පොහොය දිනය ලංකාවේ රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් කළේ ය. ඊට අනුව 1885 මාර්තු 27 දින ගෝඩ්න් ආණ්ඩුකරු විසින් වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කළේය.
1886 අංක 4 දරන ආඥා පනතින් මේ නිවාඩු දිනය නීතිමය වශයෙන් තහවුරු කරන ලදී. වෙසක් දිනය යළි නිවාඩු දිනයක් බවට පත් කරන්නට ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කටයුතු කළ සේ 1999 වර්ෂයේ දී දමිළ ජාතික ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළේ ය. ඒ මහතාගේ කැපවීම අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2000 වසරේ සිට වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කළ හ.
ලෝ වැසි බෞද්ධයන් වෙසක් උත්සවය සමරන්නේ අරුත්සුන් ප්‍රීති උත්සවයක් ලෙස නො වේ. ඔවුන් ප්‍රීති වන්නේ දානය තුළිනි. හින්දු,කිතුණු හා ඉස්ලාමීය උත්සව වලදී ද මේ තත්ත්වය දකින්නට ලැබේ.
දන්සල් පැවත්වීම, බෝධි පූජා, පහන් පූජා, අභය දාන පූජා, ලේ දන්දීම්,පොදු ස්ථාන පිරිසිඳු කිරීමේ ශ්‍රමදාන,රුක් රෝපණ ආදිය මේ යුගයේ බහුල වශයෙන් සිදු කෙරේ.
ඊට අමතරව තොරණ ඉදිකිරිම්, පහන්කූඩු දැල්වීම ධජ ප්‍රදර්ශනය කිරීම ආදියෙන් සැරසිලි කටයුතු ද කරති.පෙහෙවස් සමාදන් වීමෙන් ආගමික වතාවත්හි ද නිරත වෙති.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ සිදු පාස්කු ප්‍රහාරය හේතුවෙන් වෙසක් සැමරුම් සිදු කරනු ලැබුවේ නැහැ.
මේ වසරේ ද ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්තව යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙසක් සැමරුම සිදු නොකරන අතර රජයේ සහ සෞඛ්‍ය උපදෙස් මත නිවසේ සිට සියලු ජනයා වෙසක් සැමරුම සිදු කරනවා.