ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවු සුපිරිම වේග පන්ද යවන්නා කවුද කිවහොත් චමින්ද වාස්ට එහි පෙරමුණ හිමි වනු ඇත.
ආබාධවලින් තොරව ටෙස්ට් සහ එක්දින තරගවලදී ශ්‍රී ලංකාවට අමිල සේවයක් කළ ඔහු කණ්ඩායමෙන් කැපෙන තෙක්ම එක දිගට ක්‍රීඩා කිරීමට සමත් විය.
ටෙස්ට් තරග 111 කදී කඩුලූ 355 ක්ද එක්දින තරග 322 කදී කඩුලූ 400 ක්ද දවා ගත් වාස් ටෙස්ට් ශතකයක් ලබාගත් ශ්‍රී ලංකාවේ එකම වේග පන්දු යවන්නා වේ.
චමින්ද වාස් වසර 18 ක් පුරා ජාතික ක්‍රිකට් කණ්ඩයමට ක්‍රීඩා කළ කාළයේ ඔහුට මතක ගැනයි මේ.
‘‘මම මුලින්ම ජාතික කණ්ඩායමට එක් වුණේ 1993 දී. එතකොට අපේ කණ්ඩායම ඉන්දියාව සමග ටෙස්ට් සහ එක්දින තරගාවලියකට සහභාගී වෙමින් සිටියේ. ඒ සංචිතයේ 15 දෙනා අතර මම හිටියේ නැහැ. කොහොම හරි දුලිප් ලියනගේ ආබාධයකට ලක් වුණ හින්දා මාව සංචාරයට නම් කළා කියලා ක්‍රිකට් ආයතනයෙන් දුරකතන ඇමතුමක් ආවා. ඒ වෙලාවෙ මට ලොකු සතුටක් දැනුණා. නාග්පූර්වල තිබුණ තරගයට මාව නම් කළා කියලා තරගයට පෙර දිනයේදීම දැනගන්න ලැබුණා. මම ඒ වෙලාවෙ කල්පනා කළේ කොහොමද මේකට මුහුණ දෙන්නෙ කියලා. ඒ තරගය බලන්න 75000 ක් විතර සෙනඟ ඇවිල්ලා හිටියා. එච්චර සෙනඟක් ඉන්නකොට ක්‍රීඩා කරන්න පොඩි චකිතයක් තිබ්බත් අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හැමෝම ඇවිල්ලා කිව්වා මල්ලි බය වෙන්න එපා ඔයා ඔයාගෙ රිදම් එකට ක්‍රීඩා කරන්න කියලා. කොහොම හරි පළමු පන්දුව යැවීමෙන් පසුව මට පීඩනය දැනුණෙ නැහැ. ඒ තරගයේදී මම ඕවර 8 ක් යවලා ලකුණු 40 කට එක් කඩුල්ලක් දවා ගත්තා.’'
‘‘මම හොඳින් පන්දු යවනකොට පිතිකරුවන්ට ගහන්න බැරි පාර මට බනින්න ගත්තා. ඒ සමහර දේවල් කියන්නත් බැහැ. කෙන් රදෆට් එහෙම මට ගොඩක් බැනලා තියෙනවා. ඒ වෙලාවේ මට තේරුණේ ඒ පිතිකරුවන් කොච්චර පීඩනයකින්ද මට මුහුණ දෙන්නේ කියන එක. නවසීලන්තය සමග තිබුණ තරගයකදී ඩැනී මොරිසන් මම බැට් කරනකොට බවුන්සර් පන්දු දෙකක් එක පිට දැම්මා. ඊට පස්සෙ මම ඔහුගෙ මුහුණ බලාගෙන ඉන්නකොට මොරිසන් මගේ ළඟට ඇවිල්ලා කිව්වා අද මම උඹව මරනවා කියලා. ඊළඟ බෝලෙත් මම උඹගෙ ඔළුවට දානවා කිව්වා. මම කිව්වා හැබැයි දාලා පෙන්නපන් උඹ බැට් කරන්න වරෙන් එතකොට කරන දේ මම පෙන්වන්නම් කියලා. මට මතක හැටියට ඔය තරගය තිබ්බෙ 1995 දී අපේ නවසීලන්ත සංචාරය. ඒ සංචාරය තමයි අපි විදේශයකදී දිනපු පළමු තරගාවලිය.’’
‘‘නවසීලන්තය පරදින එක වාවගන්න බැරිව තමයි මොරිසන් එහෙම ආරවුලකට ආවේ. මොරිසන් බැට් කරන්න එනකොට මම පන්දු යවමින් හිටියේ. මම දාපු පළමු පන්දුවම ඔහුගේ අතේ වැදුණා. ඔහු ඉතාමත් වේදනාවෙන් ක්‍රීඩාගාරයට ගියා. පස්සෙ දැනගන්න ලැබුණා ඒ පන්දුව වැදීමෙන් මොරිසන්ගේ අතේ පිපිරීමක් වෙලා සති කිහිපයක් විවේක ගන්න වෙලා කියලා. පාකිස්තානයේ වසීම් අක්‍රම් එහෙමත් පිතිකරුවන්ට හරියට බනිනවා.’’
‘‘මම ගොඩක් ලෝක කුසලාන තරගාවලි ක්‍රීඩා කරලා තියෙනවා. ඒත් 1996 තරගාවලියට වඩා අනිත් තරග වෙනස්. අපි ගොඩක් ලෝක කුසලානවල අවසන් මහා තරගයට ඇවිත් තිබුණත් එහිදී පීඩනයක් ක්‍රීඩකයන්ට තිබුණා. 96 දී එහෙම පීඩනයක් තිබුණෙ නැහැ.’’
‘‘අපි කවුරුවත් ලෝක වාර්තා බලාගෙන ක්‍රීඩා කරන්නේ නැහැ. මට මතකයි අස්ගිරියේ තිබුණ තරගයකදී මුරලිට කඩුලූ 10ම ගන්න අවස්ථාව තිබ්බා. නමුත් මුරලිට 10 වැනි කඩුල්ල ගන්න බැරිව ඉන්න කොට නායකයා කිව්වා මට බෝල් කරන්න කියලා. මම කිව්වා බැහැ වෙන කෙනකුට දෙන්න කියලා. පස්සෙ මුරලි කිව්වා මට විකට් දහය ගන්න ඕන නැහැ උඹ බෝල් කරලා කොහොම හරි ඉක්මනට විකට් අරන් දීපන් කියලා. ඒත් මම පන්දුව පිතිකරුට ගොඩක් එළියෙන් පතිත කළේ. නමුත් ඔහු ඒ පන්දුවට පිත්ත දාලා අවුට් වුණා. හැම තිස්සෙම මුරලි පන්දු යවන වෙලාවට අනිත් පැත්තෙන් පන්දු යවන්න ඉල්ලන්නේ මාව. එතකොට එයාට ලේසියිලූ පිතිකරුවන්ට පීඩනය එල්ල කරන්න.’’
‘‘මම ගොඩක් කඩුලූ දවාගෙන තියෙනවා. 2003 දී දකුණු අප්‍රිකාවේ තිබුණ ලෝක කුසලාන තරගාවලියේදී බ්‍රයන් ලාරාගේ කඩුල්ල දවා ගැනීම මට විශේෂයි. ලාරා මගේ පන්දුවට කඩුලූ රකින්නාට උඩ පන්දුවක් දුන්නා. නමුත් විනිසුරු එය දැවී යාමක් ලෙස සංඥා කළේ නැහැ. ඒත් බ්‍රයන් ලාරා දැවී ගියා කියලා යන්න ගියා. ඒ තරගය දිනන්න ඒ කඩුල්ල ලබා ගැනීම වැදගත් වුණා.’’
‘‘2011 ලෝක කුසලාන අවසන් මහා තරගයට මාව නම් කළා. මම ඒ වෙනකොට හොඳට පුහුණුවීම් කරලා හිටියේ. මාව ගෙනියන්නෙ අනිවාර්්‍යයෙන්ම ෆයිනල් එක ගස්සවන්න කියලා කිව්වා. මටත් ලෝක කුසලාන දිනා ගන්නවා කියන හැඟීමත් එක්ක තමයි ඉන්දියාවට ගියේ. ෆයිනල් එකට ඉස්සෙල්ලා දවසෙ මම අලූත් පන්දුවෙන් පන්දු යවලා හොඳට පුහුණුවීම් කරලා හිටියේ. ඒ වෙද්දි 95% ක්ම මම එකොළොස් දෙනා අතර හිටියා. නමුත් එදා සවස තිබුණ කණ්ඩායම් රැස්වීමේදී කිව්වා මම ගහන්නෙ නැහැ කියලා. මම දන්නෙ නැහැ කොයි විදිහට එහෙම වුණාද කියලා.’’
අසේල විතාන
දිවයින