පවතින කොරෝවා වයිරස් තත්වය හේතුවෙන් මේ මස 25 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය එදිනට පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම ඉකුත් දා ප්‍රකාශයක් නිකුත් කළා. එය පැවැත්විය හැක්කේ බොහෝ විට මැයි මස 14 වෙනිදායින් පසුව බවත් එම කොමිසම නිවේදනය කළා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03කට පෙර දිනයක පාර්ලිමේන්තුව රැස්වන දිනය ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත් කළ යුතු වනවා.
මේ සියළු කරුණු දන්වා මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මැතිවරණය සහ යළි පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සුදුසු බවයි.
කොරෝනා වෛරසය පිළිබඳ විශේෂඥයින්ගේ මත අනුව මෙම වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීමට අප්‍රේල් මස වන විටත් හැකියාවක් නොලැබෙනු ඇති බව එම ලිපියේ තව දුරටත් පැහැදිලි කර තිබෙනවා. එම නිසා මාස 03ක් ඇතුලත නව පාර්ලිමේන්තුවක් රැස්විය නොහැකි බැවින් මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව එම ලිපියේ දන්වා තිබෙනවා.