මගේ තාත්තාට වෙඩි තියපු ඝාතකයා මගේ ඇස් ඉස්සරහ මුණගැහිලා තියෙනවා

ප්‍රේම කීර්තිද අල්විස්. මේ නම, ඒ නමටම කදිමට ගැලපුණු මුහුණ පමණක් නොව ඔහු අතින් ලියැවුණු ගීතත් එදා වාගේම අදටත් මතුවටත් ජීවමානයි.

ඒ සොදුරු මිනිසා ඝාතනය වී වසර 31ක් ගත වුවත් ඔහුගේ රූපකාය කිසිවෙකුටත් අමතක නැහැ.

ඒ සොදුරු මිනිසාගේ ආදරණිය පුතණුවන් පුර්ණ සම්පත් ඔහු ගැන හා ආදරණිය පියාණන් ගැන මතක ආවර්ජනය කරන්නේ මෙහෙමයි.

ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නේ මිය ගියත් තවමත් සමාජය කතා කරන චරිතයක්. නමුත් පුර්ණ මොකද නිහඩව ඉන්නේ..?
පොඩි කාලේ නිර්මාණවලට සම්බන්ධ වුණාට පස්සේ පුර්ණකාලීනව කලාවට සම්බන්ධ වෙන්නේ අවුරුදු එකහමාරක වගේ ඉදලා. 2004 වර්ෂයේ ඉදලා 2009 වෙනකල් මම ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හදාරන්න ගිහින් හිටියා. තාත්තා වගේ මට වේගයෙන් වැඩ කරන්න බැහැ. මගේ තාත්තා නැති වෙලා තියෙන්නේ අවුරුදු 43දී. ඒ වෙනකොට තාත්තා ගීත 7000කට වඩා නිර්මාණය කරලා තිබුණා. මට ඔහුගේ නිර්මාණ ආරක්ෂා කිරීමේ වගකීම වගේම ඒ ගීත ආරක්ෂා කිරීම, ඒවා මතු පරම්පරාවට රැගෙන යාමේ වගකීම ඉටුකරන්න සිදු වෙලා තිබෙනවා. ඒවා සම්බන්ධීකරණය කරන ගමන් මම මගේ ගමනක් යනවා.

ටෙලි නාට්‍යවලට හෝ සිනමාවට ඔබට ඇරයුම් ලැබෙන්නේ නැද්ද..?
ඇත්තටම ඇරයුම් ලැබෙන්නේ නැහැ. පොඩි කාලේ රගපෑවා. මම හිතනවා හැමදේම කරනවට වඩා මට උපතින් හිමි වුනු නිවේදන හැකියාව හා ගීත ලිවීමේ, ගැයීමේ කටයුතු කරගෙන ඉන්න එක හොදයි කියලා. මේ වෙද්දී මම ගීත ලියන්න පටන්ගෙන තියෙනවා. ඒ වගේම මගේ තාත්තා අතින් ඔහුගේ අකුරුවලින්ම ලියැවුණු ගීතයක් අම්මා ආරක්ෂිතව තියාගෙන ඉදලා මට දුන්නා. මම ඒ ගීතය ගායනා කළා. එය නවරත්න ගමගේ මහතා සංගීත නිර්මාණය කළේ. රූප රචනයක් එක්ක ලගදීම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

පියා ඝාතනය වෙද්දී ඔබ මාස එකොළහක කුඩා දරුවෙක්. පියාගේ මතකය ගැන ඔබට ඇත්තේ ඡායාවක් පමණයි..එහෙම නේද..?
ඔව්. තාත්තා මිට වර්ෂ 30 පෙර ජුලී 31 වැනිදා ඝාතනය වුණේ. ඒ වෙද්දී මගේ පළමු උපන්දිනය සැමරීමට දවස් 16යි තිබුණේ. මට තාත්තා ගැන ලොකු මතකයක් නැහැ. නමුත් මගේ අක්කා හරි වාසනාවන්තයි තාත්තා එක්ක සුන්දර ජිවිතයක් ගත කරන්න ඇයට හිමි වුන නිසා. තත්තා ගහකොළට සතා සිව්පාවාට ආදරේ කළ මනුස්සයෙක්. එයා මාව වඩාගෙන ගහකොළ එක්ක ජිවත් වෙන්න උත්සහ කරලා තියෙනවා.

ඔබේ පියා ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක් වූ නිසා ඔබට සමාජයෙන් හොද පිළිගැනීමක් තියෙන්න ඇති..?
හැම අවුරුද්දකම තාත්තා වෙනුවෙන් පැවැත්වෙන ගුණානුස්මරණ වැඩසටහනකටම මමත් සම්බන්ධ වුනා. දැලි රැවුල ඇවිත් මම වැඩිහිටියෙක් බවට පරිවර්තනය වෙද්දී තමයි මම කවුද කියලා තේරුම් ගියේ. ඒ වෙද්දී මම මගේ තාත්තා ගැන හොයලා බැලුවා, ඔහුගේ ගීත රසවින්දා, මගේ තාත්තා කොයි වගේ කෙනෙක්ද කියලා හෙව්වා. එහෙම හොයද්දි මට දැනගන්න ලැබුණු දේ අනුව මට අදහාගන්නවත් බැරි වුනා ඔහු ගැන. මට හිතුණේ පිනකට තමයි මම ඔහුගේ පුතා වුනේ කියලයි. ඒ තාත්තාගේ පුතා නිසා මට පිළිගැනීමකුත් තිබුනා.

ඒ දැවැන්ත පදරචකයාගේ ගීතවලින් ඔබ වඩාත් ඇලුම් කරන්නේ මොනවගේ ගිතවලටද..?
ඔහු අතින් ලියවුනු සියලුම ගීත ලස්සනයි. නමුත් මම දන්න දවසේ ඉදලා මට අම්මත් තාත්තත් වුනු මගේ අම්මගේ අසීමිත ආදරේ නිසා මට ඔහු ලියු ගීතවලින් මුලින්ම දැනෙන්නේ ආදරයේ උල්පත වූ අම්මා ගීතයයි. යෞවන ආදරයත් එක්ක හිතින් මා නොසැලී ගීතයට ආදරේ කරනවා.

ඔබ කුඩා කල සිට පියෙක් නැතිව ජීවිතය ගෙවද්දී පියාගේ වටිනාකම ඔහුගේ අවශ්‍යතාව දැනෙන්න ඇති..?
මට තේරෙන්න පටන්ගද්දී මට තාත්තාගේ අවශ්‍යතාවය තදින්ම දැනුනා. පාසලට ළමයි තාත්තලා එක්ක එද්දී මගේ යාලුවන්ගේ තාත්තලා එක්ක යාළුවො වගේ ඉන්නකොට මට තාත්තගේ අඩුව දැනුණා.හැමෝටම හොරෙන් මම පාසලේදී අඩලා තියෙනවා. ගෙදර ඉන්නකොටත් මම අම්මට හොරෙන් අඩලා තියෙනවා. මොකද මම අම්මට ඒ බව පෙන්නලා නැහැ. තාත්තා ඝාතනය වෙද්දී මගේ අම්මා තරුණ කෙනෙක්. එයාට එයාගේ සැමියා නැතිවෙන්නේ එයාගේ හොදම කාලේ. මගේ අම්මා මාත් එක්ක හැම අරගලයක් එක්කම හැප්පෙමින් ජිවත් වෙද්දී මට එයාට ඒ බරත් දෙන්න හිතුනේ නැහැ.

ඔබට ඔබේ පියාගේ ඝාතකයින් මුණගැහිලා ඇති..?
මගේ අම්මා තවමත් අරගල කරනවා මගේ තාත්තගේ මිනීමරුවන් නිසා. මට අවුරුදු 16 විතර වෙද්දී මට ඒ මිනීමරුවන් ගැන ඇති වුනේ වෛරයක්. මම හොයා ගත්තා මගේ තාත්තට වෙඩි තිබ්බ ඝාතකයාව.මගේ ඇස් ඉස්සරහට මගේ තාත්තාට වෙඩි තියපු ඝාතකයා මුණගැහිලා තියෙනවා. ඒ අය මාව මගහැරලා ගිහින් තියෙනවා. මගේ අම්මා ඒ කාලේ නඩු උසාවියේ විභාගවෙද්දී වඩේ එකක් කාලා ප්ලේන්ටියක් බිලා නඩුව විභාග වෙනහැටි බලාගෙන ඉදලා තියෙනවා. සල්ලි නැතුව ප්ලේන්ටි බිව්වා නෙමෙයි. ඇයට කන්නවත් වුවමනක් තිබුනේ නැහැ. අවුරුදු 31ක් වෙන්න යනවා තාත්තා නැති වෙලා. නමුත් අම්මගේ අරගලය ඉවර නැහැ. තාත්තගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් නඩු යනවා. ඝාතකයින් නිදැල්ලේ. නමුත් මගේ අම්මා තවමත් තාත්තගේ මතක එක්ක ඔහුගේ අත්අකුරු එක්ක ,ඒ සුවද එක්ක ජිවත් වෙනවා.
මම දැන් ඒ පසුපස යන්නේ නැහැ. මොකද මට වයස අවුරුදු පහමාරක දුවක් ඉන්නවා. මගේ ජිවිතේ එයා. මම නිසා එයාගේ ජිවිතේ අදුරේ දාන්න බැහැ. ඒ නිසා මම දැන් නිහඩව ඉන්නවා.

කලාව ඔබේ පරම්පරාවට ඕපපාතිකයක් නෙමෙයි. ඔබේ දියණියගේ කලාවට තියෙන ලැදියාව කොහොමද..?
මගේ දුව මගෙත් මගේ තාත්තාගේත් මිශ්‍රණයක් කිව්වොත් හරි. මට නැති දක්ෂතා මගේ පුංචි දුවට තියෙනවා. එයා සින්දු කියන්න නටන්න ගයන්න විතරක් නෙමෙයි චිත්‍ර අදින්නත් දක්ෂයි. මගේ ජිවිතේ බොහෝ කාලයක් මම ගෙවන්නේ එයා එක්ක. ඒ වගේම මගේ අම්මා ඉන්නේ මාත් එක්ක. මගේ අම්මා වැඩිපුරම ආදරේ කරන්නේ මගේ දුවට. මගේ දුවගේ හොදම යාලුවත් මගේ අම්මා කිව්වොත් මම හරි. මගේ බිරිද කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එයා පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්.

හර්ෂණී වීරරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu