හදිසි අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසිය තුළ රදවා සිටි සැකකරුවෙකුට කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛසරය ආසාධනය වී ඇති බවට හෙළිදරව් වී තිබෙනවා. එම අනාවරණය වීමත් සමඟම මුන්දලම පොලීසිය සහ එම ස්ථානයේ සේවය කරන නිලධාරීන්ව ස්වයං නිරෝධායනය කිරීමට මහජන සෞඛය පරීක්ෂකවරුන් කටයුතු ආරම්භ කර තිබෙනවා.
අනතුරින් පසුව සැකකරු පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 11වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. බන්ධනාගාරයෙන් මුදා හැර ඇති සැකකරුට පසුව ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පරීක්ෂා කිරීමේ දී ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාධනය වී ඇති බවට අනාවරණය වුණා.
ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගත් මුන්දලම පොලිසියේ නිලධාරීන්, ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් නිලධාරීන්, ස්වයං නීරෝධයනය කිරීම අද (19) සවස ආරම්භ කර ඇති බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම රිමාන්ඩ් සිර මැදිරිය මෙන්ම මීගමුව රිමාන්ඩ් සිර මැදිරියද ඔහු සමග රදවා සිටි සෙසු රැදවියන්ද නිරෝධායනය කිරීමට සිදුවී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරනවා.