අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනධිපතිවරණ ජයග්‍රහණය උදෙසා රුකුලක් වූ ''වියත්මඟ'' හි ප්‍රධාන භාරදූර්ය කටයුත්තක් සිදු කල ආචාර්ය නාලක ගොඩහේවා මෙරටට සිටින මහඟු සම්පතක්. ජිනීවා අරගලයේ ඉදිරියෙන්ම සිටින වීරයෙක් වන ආචාර්ය නාලක ගොඩ හේවා මව්බිමට ආදරය කරන ආනාගත පරපුරට ආදර්ශයක් සපයන්නෙක්.
රට නගා සිටුවීමේ ජනාධිපතිවරයාගේ මහඟු ප්‍රයත්නය ඉදිරියේ ආචාර්ය නාලක ගොඩහේවාගෙන් ලැබෙන්නේ වටිනා සහායක්. ආචාර්ය නාලක ගොඩහේවා විසින් සිළුමිණ පුවත්පතෙහි දිරිපත් කළ විශේෂාංග ලිපියක් තමයි මේ. මව්බිමට හිතෛශී අය විසින් කියවිය යුතුම ලිපියක්.
අපි දන්නවා මේ රට 2015 දි ආර්ථික, දේශපාලනික, සමාජිය සහ සංස්කෘතික වශයෙන් සෑහෙන ස්ථාවරයක තිබුණා. මේ රට 2019 කාලයේ විශාල පිරිහීමකට ලක්වුණා. 2014 දි ලංකාවේ ආර්ථික වර්ධන වේගය 7%ට වඩා තිබුණා. ඉතුරු අවුරුදු පහේදි 8% වර්ධන වේගයක් තියා ගන්නට හැකියාව තිබුණා. ඒ වර්ධන වේගය දිගට ම පවත්වා ගත්තා නම් ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් හයදාහ ඉක්මවා තියෙන්නට ඕන.
නමුත් අද තියෙන්නේ ඩොලර් හාරදහසයි; මේ වනවිට ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන එකසිය හතළිස්හත විය යුතුයි. නමුත් අපිට තාම තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන අනූවයි. අපිට පේනවා; අපේක්ෂිත තත්ත්වයට වඩා ආර්ථිකමය වශයෙන් අපි හුඟක් පසුපසින් ඉන්නේ කියලා. අපේ රුපියල අවප්‍රමාණය වෙලා, මුදල් සංසරණය නතර වෙලා; ව්‍යාපාර කඩා වැටිලා; බදු බර ඉහළ ගිහිල්ලා; රැකියා වියුක්තිය ඉහළ ගිහිල්ලා; දුප්පත් කම වැඩි වෙලා ප්‍රශ්න රාශියක් පසුගිය කාලයේ ඇතිවුණා. එයට හේතුව ලෙස අපි හොයලා බැලුවොත් මා දකින්නේ පසුගිය රජයට නිසි සංවර්ධන වැඩපිළිවෙලක් තිබුණේ නැහැ.
ඒ රජය සම්පූර්ණයෙන් ම අවධානය යොමු කළේ බලය රඳවා ගැනීමට පමණයි. බලයට ආවාට පසුව ඔවුන් කළේ ප්‍රතිවාදියා මර්දනය කිරීමේ උපක්‍රම පමණයි. චරිත ඝාතනය කළා. බොරු හේතු සාධක සොයමින් සිරගත කිරීම් කර දේශපාලනයෙන් ඉවත් කරන්නේ කෙසේද කියන කාරණාව තමයි මේ අය කළේ. අවුරුදු පහක් තිස්සේ ඒ ගැන විතරයි ඒ අය කතා කළේ. ඒ ගෙන ගිය මර්දනකාරී වැඩපිළිවෙල ගැන ක්‍රමක්‍රමයෙන් ජනතාව අතර අප්‍රසාදයට ලක්වුණා පමණක් නොවෙයි; රට ආර්ථිකමය සාමාජිමය දේශපාලනික වශයෙන් පිරිහුණා. රජය, රජය ලෙසින් කටයුතු නොකොට හුදු දේශපාලනයට පමණක් සිමා වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටකට දේශපාලනය අවශ්‍යයි; ඕනෑ ම රටක දේශපාලන පක්ෂ තියෙනවා.
එහිදී එක් එක් පක්ෂ දේශපාලනය කතා කරනවා; රටේ ප්‍රතිපත්ති කතා ගැන කරනවා. ඒ දේශපාලන ප්‍රතිපත්ති අතුරින් එකක් අනුමත කළාම ඒ පක්ෂය බලයට එනවා. බලයට ආවාට පසුව රජයේ වගකීම වන්නේ ඒ ඉදිරිපත් කරන්නා වූ ප්‍රතිපත්ති මත රට පාලනය කිරීමයි. පසුගිය කාලයේ වුණේ රට අරාජික වීමයි. රටේ සම්පත් පිටරැටියන්ට විකුනුණා. රටට විරුද්ධ ව විදේශ යෝජනා එන විට දණ නමා පිළිගත්තා. අපි නිවට නියාලු දුර්වල ජාතියක් බවට පත් වුණා. අපේ සමස්ත රටේම අභිමානය නැතිවෙලා ගියා. ඒ වගේ වාතාවරණයක් තුළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණේ.
ඒ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන විට අවුරුදු හතරක පමණ කාලයක් මුළුල්ලේ විශේෂයෙන් වියත් මග වැනි සංවිධාන හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ ව විශාල ජනප්‍රසාදයක් රට තුළ ඇතිවෙලා තිබුණා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබුණේ නැහැ. නායකත්වයක් පිළිබඳ ව හිඩැසක් ඇතිවෙලා. තිබුණා.
ජාතික නායකත්වයට සුදුසු ම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ කියන කාරණාව එවකට ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා විශාල බලවේගයක් බවට 2019 වනවිට පත් වෙලා තිබුණා. එම වසර වනවිට එතුමාට රට වෙනුවෙන් ඉතා පැහැදිලි වැඩ පිළිවෙළක්, සැලැස්මක් තිබුණා. එතුමා සහ හිටපු රජය අතර තිබුණ වෙනස එයයි. හිටපු රජය අයාලේ යන කාලය අතර තුර ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමාගේ කණ්ඩායමත් සමඟ එකතු වෙලා ඉතාමත් පැහැදිලි දැක්මක් ඉදිරිපත් කළා, ‘සෞභාග්‍ය දැක්ම‘ නමින්. මේ සෞභාග්‍යයේ දැක්ම කියන වැඩසටහන ආවාට ගියාට සකස් වුණ දෙයක් නොවෙයි.
මේ රටේ බුද්ධිමත් උගත් පූජ්‍ය පක්ෂය දේශපාලඥයන් සහ සාමාන්‍ය ජනතාව එකට එකතු වෙලා සකස් කරන‘ලද වැඩපිළිවෙළක්. නෙලුම් පොකුණ රඟහලේදි එතුමා මෙය ජනගත කරමින් එහිදී ඉදිරිපත් කළා ලස්සන යෙදුමක්. ඒ තමයි, 'ජනතාව විසින් සකස් කළ, ජනතාව වෙනුවෙන් කැපවූ, ජනතා ප්‍රතිපත්ති මාලාවක් කියන එක. එයයි යථාර්ථය. ඒ සකස් කරන ලද වැඩපිළිවෙළ එතුමා පත්වූ මොහොතේ පටන් ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තා.
සුළු ජාතික පක්ෂ විසින් මේ ජනාධිපති මැතිවරණය හසුරුවනවා කියන සාම්ප්‍රදායික මතවාදය බිඳින්නට මේ රටේ බහුතර ජනතාවට හැකියාව ලැබුණා. ජනාධිපතිවරයා පත් වුණාට පස්සෙ ඒ වැඩපිළිවෙළ ඔහු සකස් කරලා තියෙනවා. සමහරක් තීන්දු තීරණ ගත්තා; මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රකාරව රටේ බදු අඩු කරනවා කියලා. හිටපු රජය මේ ගැන පිළිගත්තේ නැහැ, හිනා වුණා. නමුත් ජනාධිපතිවරයා බලයට පත් වුණ වහාම එය සිදු වුණා. නමුත් පළමුවැනි කැබිනට් රැස්වීමේදී සියලු ජනතාවට එම බදු සහනය ලබා දුන්නා. එතැන තිබුණේ හුදු දේශපාලනික පොරොන්දුවක් නොවෙයි; ඒ බදු සහන පොරොන්දු වල හොඳ ආරථික සැලැස්මක් තිබුණා.
අපි දුටුවා පසුගිය කාලයේ රටේ 2015 සිට 2019 කාලය තුළ ජනතාවට බදු 100% වැඩිකරලා තිබුණා. 2014 බදු රුපියල් බිලියන දහයයි. 2019 එය බිලියන දෙදහකට වැඩිකරලා තිබුණත් ජනතාවට සහන ලැබුණේ නැහැ. සියයට සියයකින් බදු වැඩිවුණත් රටේ සංවර්ධනයක් සිදුවෙලා නැහැ. ජනතාව සූරා කෑමක් සිදු වෙලා තිබුණා. ඒ තත්ත්වය යටතේ තමයි බදු බරින් මිරිකිලා හිටිය සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට විශාල බදු සහනයක් සහනයක් ලබා දෙන්නෙ. එයින් ජනතාවට කොතරම් සහන ලැබෙනවාද? කුඩා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික අවස්ථා ලැබෙනවා. රැකියා උත්පාදනය වෙනවා. ආයෝජකයන් තමුන්ගේ ව්‍යාපාර සඳහා බඩු මිලදී ගන්නා විට කුඩාව්යාපාරිකයන්ට ව්‍යාපාර අවස්ථා ලැබෙනවා.
පසුගිය රජය කාලයේ රජයත් සමඟ ව්‍යාපර කළ අයට කෝටි ගණන් මුදල් ගෙවලා තිබුණේ නැහැ. එයින් කෝටි ගණන් වල ව්‍යාපාර කඩාගෙන වැටෙන්නට පටන් ගත්තා . අමාරුවෙන් වුණත් මේ රජය එ් මුදල් ගෙවන්නට පටන් ගත්තා. නැතිනම් ඒ ව්‍යාපාර කඩා වැටෙන්නට ගත්තාම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් කඩා වැටුණාම එවායේ රැකියව කරන ජනතාවට රැකියා නැතිව යනවා. මේ රටේ වැඩ කරන ජනතාවගෙන් 70% පමණ රැකියාව කරන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වල. ඒ නිසා ඒ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත රැක ගැනීමට ඥානයක් නැතිනම් රැකියා වියුක්තියක් ඇතිවෙනවා. එමෙන්ම එතුමා බලයට පත්වු කාල සිමාවත් සමඟ බලන විට අපිට පේනවා; ඒ ප්‍රතිපත්ති මාලාවෙ එකින් එක ක්‍රියාවට නංවන ආකාරය. දුගී දුප්පත් පවුල්වල ජනතාවට රැකියා ලබා දීම උපාධිධාරින්ට රැකියා ලබා දීමේ පොරොන්දුව සහ වතු කම්කරුවන්ට රැකියා ලබා දීමේ තීන්දුව ගත්තා. වතු කම්කරුවන්ට රුපියල් දහක දිනක වැටුප ලබාදීම වගේ ම කෘෂි නිෂ්පාදන ප්‍රතිඅපනයනය තීන්දුව ගත්තා.
ඒවගේ එකින් එක කතා කළොත් අපිට පේනවා විශාල වැඩපිළිවෙළක් පසුගිය කාලය තුළ සිදු වුණ බව. ඒ සමඟ තවත් දෙයක් වුණා; රටේ මිනිසුන් ආණ්ඩුව වෙනයි, පුරවැසියෝ වෙනයි කියල කියන සාම්ප්‍රදායික මතයෙන් බැහැරව ආණ්ඩුවේ වැඩ අතට ගත්තා. පරිසර අලංකාර කිරීම අතට ගත්තා; තාප්පවල පෝස්ටර් ගහලා අවලස්සන කරනවාට වඩා සිතුවමකින් හැඩ කළාම කවුරුත් පෝස්ටර් ගහන්න අදින්න ලියන්න පෙලඹෙන්නේ නැහැ.
රජය නීතියක් දාලා තහනම් කරනවාට වඩා මේ වගේ විකල්ප වලින් ඒ දේවල් නතර කරන්න තරුණ පරපුර ක්‍රියාත්මක වුණා. ඒවගේම තමයි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කරලා තිබුණා, ජනතාව රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගන්න ඕන; එය හොඳ ප්‍රවණතාවක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කලින් ආණ්ඩුව කාලයේදි විහාරමහාදේවි එළිමහන් රංගපීටය ළඟදි නතර කරලා කඳුළු ගෑස් ගහන එක වෙනුවට ඒ අයට ජනාධිපති කාර්යාලය ළඟට එන්න දුන්නා. ප්‍රශ්න සාකච්ඡා කරන්ට ඉඩ දුන්නා. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක්. ප්රජාතන්ත්රවාදයට ගරු කිරීම, විවිධ මතවලට ගරු කිරීම කළ යුතුයි.
ඒ ක්‍රමය ජනාධිපතිවරයා හොඳින් ක්‍රියාත්මක කරමින් පවතිනවා. කිසිම කෙනකු දේශපාලන කරුණු මත අත්අඩංගුවට ගන්න එපා කියලා නියෝග කළා. දේශපාලනික දඩයම මේ රජය කරන්නේ නැහැ. පසුගිය රජය වගේ දේශපාලන මර්ධනය කරන්නේ නැහැ. එය නොවෙයි, මේ රජයේ ප්‍රතිපත්තිය නීතිය ක්‍රියත්මක කළ යුතුයි. අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට දේශපාඥයන් ගිහිල්ලා දේශපාලන පළිගැනීම් කිරීමට නීතිය අතට ගත යුතු නැහැ. එම අනාගතය සඳහා හොඳ ප්‍රවණතාවක්. පසුගිය කාලයේ අධිකරණය ගැන තිබුණ කුකුස, සැකය මේ වන විට රන්ජන් රාමනායක ගේ හඬපටවලින් තහවුරු වුණා.
ඉතාමත් කැත විදිහට මේ රටේ නීතිය අගතියට පත් කළා පසුගිය ආණ්ඩුව. එය නිවැරදි කරගැනීම ඉතා වැදගත්. ජනතාව තමන්ගේ පෞද්ගලික නඩුවකටවත් විශ්වාසයෙන් උසාවියකට යන තත්ත්වයක් වත් නැති තරමට අධිකරණය පිරිහුණා. නීතිපති දෙපාර්තමේන්තුව අැතුළු සියලු ආයතනවලට වගකීමක් තියෙනවා. මේ රටේ නීතිය ප්‍රතිසංවිධානය කිරීමට.
අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටීම සමාජ ව්‍යසනයක්. එයින් අපි ගොඩට එන්න ඕන. එහිදී අපි දන්නා ඕනෑම රටක ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් වන අංශ තුනක් තියෙනවා.ඒ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි. අපි අධිකරණය ගැන ඉහතින් කතා කළා. අධිකරණය මොනතරම් රටකට වැදගත් ද; අධිකරණයේ ස්වාධීනත්වය රටකට කොතරම් වැදගත්ද කියලා අපි දැන් කතා කළා.
විධායකය සහ ව්‍යවස්ථාදායකය ගැන කතා කළ යුතුයි. මෙය ඉතා වැදගත් රාජ්‍ය පරිපාලනය සඳහා. ඇතැම් රටවල ජනාධිපති ක්‍රමය සහ ඇතැම් රටවල අගමැති ක්‍රමය තියෙනවා.මේ ක්‍රම දෙකෙන් ම ජනාධිපති හෝ අගමැති සමඟ කටයුතු කරන කැබිනට් මණ්ඩලයක් සිටිනවා.රාජ්‍ය නායකයා සහ විධායකය තමයි කැබිනට් මණ්ඩලය කියන්නේ. අපේ රටේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව විධායකය කුමක්ද කියලා අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා අපි දැක්කා. පසුගිය කාලයේ අගමැතිවරයා පත් කරපු ජනාධිපතිවරයාට ඔහු ඉවත් කරන්න බැහැ.
මෙය මහ අර්බුද කාරීතත්ත්වයක්. 19 වැනි සංශෝධනය අනුව මේ ව්‍යවස්ථාව අනුව ඔහු ඉල්ලා අස් වුනොත් හෝ මිය ගියොත් හැර ඉවත් කරන්නට බැහැ. ආණ්ඩුව පැත්තෙනුත් එසේමයි. ආණ්ඩුව විසුරුවා හරින්නට වසර හතරාමාරක් යනතුරු බැහැ කියන කාරණාවම කොතරම් ප්රජාතන්ත්ර විරෝධි ද? පාර්ලිමේන්තුව සහ ජනාධිපති පත් කරන්නේ ජනතාව නම් ජනතාවට අවශ්‍ය නම් ඒ ජනාධිපති හෝ අගමැති වෙනස් කරන්න ජනතාවට බැහැ ඕනෑම වෙලාවක එසේ කරන්න.
ආණ්ඩුවක් ඇවිත් රට විනාස කරනවා නම් එ් විනාසකාරී ආණ්ඩුව වෙනස් කරන්නට, ඉවත් කරන්නට බැරි නම් කොහෙද ජනතා පරමාධිපත්‍යයක් තියෙන්නේ. ජනතා පරමාධිපත්‍ය කියන සංකල්පය සම්පුර්ණයෙන් ම දුෂණය කරලා දැම්මා 19වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා. හැමපැත්තෙන්ම වියවුලක් තමයි ඇති කරලා තියෙන්නේ. එය මධ්‍යම රජය සම්පුර්ණයෙන් ම දුර්වල කරලා තියනවා. මම දැඩි ලෙස විශ්වාස කරනවා; මෙය අන්තවාදි දෙමළ ඩයස්පෝරා සහ විදේශ බලවේගවල කුමන්ත්‍රණයක් කියලා.
අපිට පිටස්තර බලවේග සිටිනවා; දෙමළ අන්තවාදයට මධ්‍යම රජය දුර්වල කරලා ඔවුන්ට බලය අත් කරගන්න. සමහර විදේශ රටවලට අවශ්‍යයි, මේ රට අස්ථාවර කරලා ඔවුන් මත යැපෙන රටක් බවට පත් කරන්න. මේ දෙගොල්ලන් එකතු වෙලා රූකඩ රජයක් ලංකාවේ පිහිටුවා ගත්තා. රූකඩ රජයේ රූකඩ පාලකයන්ට උපදෙස් ලබා දුන්නා ආකාරය ගැන මේ ව්‍යවස්ථාව සංශෝධනය වියයුතු කියලා 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළමුවැනි පියවර තිබ්බා. ප්රජාතන්ත්රවාදයේ මළගමේ මිනී පෙට්ටියට අන්තිම ඇනය ගහන්න සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා.
අවසාන වශයෙන් මේ රටේ ප්රගතිශීලි පක්ෂවලින් අපි ඉල්ලිමක් කරනවා; ඊළඟ මැතිවරණයට පෙර කියන්න: ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මොනවාද කරන්න බලාපොරොත්තු වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත්විය යුතුයි. ඒ අනුව ජනතාවට නිසි තීන්දු ගන්නට පුළුවන්.මා හිතන ආකාරයට අපි ඊළඟට ගේන ව්‍යවස්ථාවෙන් මධ්‍යම රජය ශක්තිමත් කළ යුතුයි. මේ විමධ්‍යගත කරනවා යැයි කියමින් මධ්‍යම රජය දුර්වල කිරීමේ ප්‍රෝඩාව අපි නතර කළ යුතුයි. අපි විමධ්‍යගත කළයුතු වන්නේ වගකීමයි.
පසුගිය කාලයේ බලය ගත්ත උතුරු නැගෙනහිර පළාත් සභා තමන් ගේ බලය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කළා ද? තවමත් බලය ගැන කතා කරනවා මිසක් ජනතාව වෙනුවෙන් ඔවුන් මොනවාද කරලා තියෙන්නේ. තවත් බලය අවශ්‍යයි කියලා ඒ අය කියනවා. අපි වගකිම් බෙදාගන්නට ඕන; ඒ වගකිම් බෙදා ගැනීමටයි බලය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථාව ගැන කතා කරද්දි මේ ගැන ඍජුව කතා කරන්නට ඕන. අපි විවෘතව කතා කරන්නට ඕන. අපි කොහොමද හරි දේශපාලන නායකත්වයක් මේ විවිධ තලවල ගොඩනංවන්නේ. අපි අවුරුදු 72 දියුණුවෙමින් පවතින රටක් කියමින් සිටියා. අපි 1948 නිදහස ලබා ගන්න කොට ලංකාව ආසියාව තුළ තිබුණු ආර්ථික වශයෙන් ප්‍රබල රටක්. පසුගිය අවුරුදු 72 පුරා අපි එකතැන පල් වෙද්දි; මන්දගාමීව ඉදිරියට යද්දි අනෙක් රටවල් අපිව පහුකරගෙන ඉදිරියට ගියා.
අපි කල්පනා කරන්නට ඕන, කොතැනද වැරදුණේ කියලා. වැරදුණේ නායකයන් තෝරාගැනිමේදී. බලය ලබා දුන්නේ දූරදර්ශි නැති මිනිසුන්ට. මේ දේශපාලනික කාරණාව පිළිබඳ ව දැන් අපි සංවේදීව වටහා ගත යුතුයි. හරි දේශපාලඥයන් මේ රටට තෝරා ගත යුතුයි. අපේ රටට විශාල සේවයක් කරන ලද දේශපාලඥයන් ඉන්නවා. තිස් වසරකට අධික යුද්ධය ජයග්‍රහණය කරපු මහින්ද රාජපක්ෂ මහතා වැඩකරලා පෙන්නලා මේ රටේ වත්මන් අගමැතිවරයා වශයෙන් පත් වෙලා ඉන්නවා. මේ අයගේ උපරිම දේ අපි ලබා ගත යුතුයි. මේ වගේ හොඳ දේශපාලනඥයන් සහ රටට වැඩ කරන්නට පුළුවන් නවකයන් එකතු කරමින් රට ඉදිරිය යැවීමේ ගාමක බලය ලබා දෙන හොඳ සම්මිශ්‍රණයක් ඊළඟ පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒ තුළින් මේ රට ඓතිහාසික ලෙස නැවත ගොඩනඟන්නට අපිට හැකියාව තියෙනවා.''