“මම අපේ ගෙදර ඉඳලා අයියලගේ ගෙදරට යන්න ඇවිදගෙන ආවා. මම ආවේ පඩි පෙළක් දිගේ. එහෙම එද්දී මාව පඩි පහකින් බිමට වැටුණා. ඒ වෙලාවේ මම මගේ වම් අත බිමට තිබ්බා මතකයි.”
“මේ සිදුවීමෙන් පස්සේ මගේ වම් අතේ ඇතිවුණු ආබාධයක් නිසා ගෙදර අය මාව ළඟම තියෙන රෝහලට අරන් ගියා. ඊට පස්සේ ඒ රෝහලේ දොස්තර මහත්තුරු ලී පතුරු දෙකක් මගේ අතට තියල බැඳලා, ඒ රෝහලේ ගිලන් රථයකින්ම මාතර මහ රෝහලට අරන් ගියා. ඒ යද්දී මට වේදනානාශක හා පිටගැස්මට බෙහෙත් දීලා තිබුණා.”
“මාතර රෝහලට අරගෙන ගිය මාව ඉන් පස්සේ කොළඹ ජාතික රෝහලට යවන්න කටයුතු කළා. කොහොම හරි අවසානයේදී මට සිද්ධ වුණේ වම් අත නැති ආබාධිතයෙක් වෙන්න. මට මෙහෙම වුණේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා මම ඊට එරෙහිව නීති මගින් කටයුතු කරනවා.”
අචලා මෙහෙම කියල ගෙවුණේ සති කීපයයි. එවකට තිබූ රජය අචලා වගේම ඇය වෙනුවෙන් කතා කරපු හැමෝගේම කරුණු සැලකිල්ලට ගෙන ඇයට පිහිට වෙන්න හිතුවා. එහෙම හිතල අචලාට කෘත්‍රිම අතක් සවි කිරීමේ අදහසින් ජර්මනියට යැව්වා.
එහෙම ගිය අචලා නැවත ලංකාවට ආවා. ඇවිත් අර කෘත්‍රිම අතින් තමන්ගේ වැඩ කටයුතු කර ගන්න වෙහෙසුණා.
“ඇත්තටම ඒක ලොකු රැවටීමක්. මට ඒ කෘත්‍රිම අතින් කිසිම වැඩක් කරගන්න බැරි වුණා. රුපියල් ලක්ෂ 49 කට අධික මුදලක් වැය කරලා කරපු දෙයින් මට කිසිම දෙයක් කරගන්න බැරිවුණා.”
එවකට නීති ශිෂ්‍යාවක් වුණු අචලා ලංකාවට ඇවිත් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගත්තේ අභියෝග රැසක් මැද්දේ. ඇයට හුරු වමත වෙනුවට ඇය දකුණතින් හැම වැඩක්ම කරගන්න හුරු වුණා.
“අත් දෙකම හොඳට තිබුණු මම තනි අතට හුරු වුණා නමෛයි, හුරු වෙන්න සිද්ධ වුණා. මේ කාලේ මගේ ඇස්වලින් පිට වුණු කඳුළු මොන තරම්ද කියල මම දන්නේ නැහැ. මේ වෙලාවේ මගේ යාළුවෝ මා එක්ක හිටියා. මට උදව් කළා. මම විභාගයට මුහුණ දුන්නේ එවැනි පරිසරයක් තුළයි.”
මේ විදියට ජීවිතේ ජය ගන්න උත්සාහ ගත්ත අචලා නීතිඥවරියක් වුණා. මුල් කාලේ ඉඳලම ඇය එක්ක හිටපු ඇගේ නාවික හමුදාවේ පෙම්වතා එක්ක විවාහ වුණා. ඔහු අචලාගේ අත අරගෙන ටික කාලෙකින් නාවික හමුදාවෙන් ඉවත් වුණා.
“මට පෞද්ගලික අංශයේ රැකියාවක් ලැබුණා. ඒත් තනියම ඇඳුමක් ඇඳ ගන්න බැරි මම අසරණ වුණා. මුල් කාලේ මට සාරියක් ඇඳගන්න පවා උදව් කළේ මගේ යාළුවෙක්. ඒත් ඒ දේ හැමදාම අනිත් අයට කියලා කරගන්නේ කොහොමද?”
“මේ වෙලාවේ තමයි මගේ සැමියා මගේ සරණට ආවේ. එයා රැකියාවෙන් ඉවත් වෙලා මාව බලාගන්න තමන්ගේ අනාගතය කැප කළා. දැන් එයා තමයි හැම දෙයක්ම කරන්නේ. උයලා කන්න පවා දෙන්නේ එයයි.”
අචලා තව බොහෝ දේ කියනවා. තනි අතකින් රස්සාවක් කරල ජීවත් වීමේ අභියෝගය පහදා දෙනවා.
“මේක ඉවස ගන්න බැහැ. කාටවත් මේ තත්ත්වය පහදල කියන්නත් බැහැ. මම ඒ තරම්ම අසරණ වෙලා ඉන්නේ.”
අචලා තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණය ගැන එවකට සිටි බලධාරීන් හමුවෙලා කතා කළා. තමන් වෙනුවෙන් කිසියම් උපකාරයක් කරාවි කියලා ඇය අපේක්ෂා කළා. ඒත් වැඩක් වුණේ නැහැ. අවසානයේදී ඇය අධිකරණය හමුවට ගියා. දැන් ඒ නඩුව උසාවිය හමුවේ විභාග වෙනවා.
“මම විශ්වාස කරනවා අධිකරණයෙන් මට සාධාරණයක් වේවි කියලා. මම මේ නඩුව දාලා තියෙන්නේ රුපියල් මිලියන 100ක් ඉල්ලලා. මම විශ්වාස කරනවා වෛද්‍ය නොසැලකිල්ල නිසා මගේ වම් අත ඉවත් කරන්න සිද්ධ වුණා කියලා. අද මේ හේතුව නිසා ගැහැනියක් හැටියට මට තිබුණු හුඟාක් බලාපොරොත්තු නැති වෙලා ගිහින්. මගේ අනාගතය ඉස්සරහ තියෙන්නේ ප්‍රශ්න ගොඩාක්.”
“මේ වෙලාවේ මම ඉල්ලන්නේ මට මේ වෙනුවෙන් සාධාරණය ඉටු කරගන්න සියලු මාධ්‍ය එදා හිටිය වගේම මා එක්ක ඉන්න කියලයි…. ඒ වගේම මගේ නඩුව වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකර පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අරුල් ප්‍රගාසම් මහතා වගේම නීතිඥ රොමේෂ් ඩී. සිල්වා සහ නීතිඥ සුගත් කල්දේරා යන මහත්වරුන්ට ස්තුතිවන්ත වෙනවා” අචලා අවසන් වශයෙන් කිව්වා.
සමන් ප්‍රියංකර නම්මුනිගේ ලිපියකින් උපුටා ගැනීමකි....