යතුරුපැදි අනතුරින් මියගිය පුතෙක් වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබූ සංවේදී සටහන

දිනෙන් දින වැඩිවම මෝටර් රථ අනතුරු නිසා ජීවිතය අහිමි කරගන්නා තරුණ පිරිස් බොහොමයි. දෙමාපිය සහෝදර සහෝදර ඥාතීන්ට දුකම පමණක් ඉතුරු කරලා තරුණයො ජීවිතේ අත ඇරලා නොයන ගමන් යන්නේ බයිසිකල් පදිනවිට කිසිම ප්‍රවේසමක් නැති හින්දා.

මේ කතාවත් එහෙම ජීවිතේ අත ඇරලා ගිය දරුවෙක්ගෙ ගැන වෛද්‍යවරයෙකු ලියපු සංවේදී කතාවක්. ඒ  වචන කියවන හැමෝගෙම නෙතට කඳුලක් ඉණුවා.

"මීට දශක දෙකකට විතර ඉස්සර, උඹලගෙ අම්ම, මම ඒ දවස් වල වැඩ කරපු ඉස්පිරිතාලෙට අාවෙ, උඹව මාස 9-10 ක් බඩ ඇතුලෙ තියාගෙන. උඹ ඉපදුනු දවස මට තාමත් මතක මා ලඟ අදටත් තියෙන උඹේ කුලුඳුල් ෆොටෝ එක හින්දයි. එදා මම උඹගෙ සහයට ආවෙවෙ(අනිකුත් සාත්තු සේවක සේවිකාවන් සමග) උඹ ඉපදෙද්දි අඬපු නැති නිසයි. ඔව් උඹ ඇඬුවෙ නෑ ඒ වෙලේ. ඒත් තප්පර කීපෙකින් උඹ හයියෙන් අඬන්න පටන් ගත්ත. උඹව අඬවන්න තමයි මම එදා වෙහෙසුනේ.

එදා උඹ අඬන සද්දෙ ඇහිල,විලි රුදාව සඟවාගෙන උඹෙ අම්මත් සිනහ උනා මට මතකයි. මගෙ සිත සැනසුනෙත් උඹ අඬපු හින්දයි ඒ වෙලේ. නිල් පාට වෙලා තිබුනු උමේ ඇඟිලි ටිකෙන් ටික රෝස පාට වුණා. උඹේ හදවතේ සද්දෙ මගෙ නලාවට ඇහෙන්න පටන් ගත්තා වාසනාවට. 

උඹ ඉක්මනින් ගෙදර ගියා, ඇඬුව,සිනාසුනා,සෙල්ලම් කලා !!! අදත් මම උදෙන්ම ඉස්පිරිතාලෙට ආවෙවෙ උඹ අඬන් නෑ කියපු හින්දයි මයෙ පුතේ. එදා උඹලගෙ අම්ම උඹව ගෙදර අරන් ගිය වෙලේ ,අම්මගෙ යාලුවො,නෑයො එන්ඩ ඇති උඹව බලන්න, බේබි සබන් .පියරු පෙට්ටි .ඕඩිකොලොන් බෝතල් අරන්.....ඔව් අද හවසටත් ඒ ගොල්ලො එයි, මාරි විස්කෝතු පෙට්ටි,ඔරේන්ජ් බාර්ලි බෝතල්,නෙස්කැෆේ මැෂින් අරන් උඹව බලල යන්න.

එදා අම්මගෙ යාලුවො සෙට් එක එන්නැති උඹව බලන්න,අර ලස්සන ලා නිල් පාට "මල් පීස්" රෙද්දෙන් මහපු චූටි කමිස පොඩි, ,නැපීස් එහෙමඅරගෙන. අද රෑට උඹගෙ යාලුවො සෙට් එකත් එයි සුදු පාට "පොලියෙස්ටර්" රෙද්දෙන් මහපු කොඩි , බැනර් උස්සගෙන උඹව බලල යන්න.

එදා මම තරැණයි,අද උඹේ වයසත් මගෙ වයසට එකතු වෙලා මම මැදි වියේ. ඒත් උඹ තාම ලමා වියේ. මට සමා වෙයන්,එදා වගේ අද බෑ මට උඹව අඬවන්න. එදා උඹ අඬන සද්දෙ ඇහිල සිනහවුනු උඹේ අම්ම අද මගෙ කකුල් දෙක ලඟ පෙරලි පෙරලි අඬනව උඹව හිනස්සන්න කියල. මම මොනා කරන්නද? මම එදා වගේම ඉක්මනින් ආවෙ උඹට සාධාරණයක් කරන්නයි. අද සිනාසෙන්නවත් අඬන්නවත් බැරි උඹව ඉක්මනට ගෙදර ගෙනියන්න උදව් කරන්නයි. එදා මම උඹේ කිරි කැටි කකුල් දෙකෙන් තනි අතින් උඹව උස්සගෙන ලමා වාට්ටුවට දිව්වෙ,ඒ උඹේ "පලමු ගමන". ඒත් අද මට තනියම උඹව උස්සන්න බෑ. උඹ ගොඩක් ලොකු වෙලා උස මහතයි හැඩිදැඩියි බරයි ,තව දවස් දෙක තුනකින් උඹගෙ යාලුවො ටික එයි උඹව උස්සගෙන කර උඩ තියාගෙන "අවසන් ගමන" ගෙනියනන්න.  එදා මම උඹ ලඟට දුවගෙන ආවෙ මගෙ"සුමට" වෙද නලාවත් උස්සගෙන ඉක්මනට. ඒත් දැන් නලාවත් උඹත් එක්ක විරසක වෙලා. අද මම උඹ ලඟට ආවෙ "රලු" පිහි-කතුරු-මිටි-කියත් අරගෙන.

වෙලාවකට මට හිතෙනව උඹ මටත් වැඩියෙ ලොකු වැඩකාරයෙක් කියල. මොකද මම එදා උඹව අඬවන්න ලොකු ගේමක් දුන්න, ඒත් අද උඹ කිසිම ගේමක් නොදී ඊටත් වඩා ඉක්මනට මාව ඇඬෙව්වා. එදා උඹගෙ අම්ම හිනැහෙද්දිත්,අද අඬද්දිත් මම උඹ ලඟ උන්න. අපේ රස්සාව එහෙම තමා. මිහිරි මෙන්ම දුක්බර දේ වලිනුත් පිරිල. 

අන්තිම දවසෙ පරක්කු වෙලා හරි උඹට එක අවවාදයක් දෙන්නම්. මතු ආත්මයෙකදි හරි මෝටර් සයිකලයක් පදින්න හිතුණොත්, කොච්චර පරක්කු උනත් ටිකක් හිමින් පැදපන්(උඹට පිං සිද්ද වෙයි,පුලුවන්නන් හීනෙන් හරි අැවිත්, මම කියපු අවවාදෙ ,උඹේ බයික් පදින යාලුවො සෙට් එකටත් කියල පලයන්) උඹ ඉපදුන දවසෙ හිනහ වුනු අයව මුලු ජීවිත කාලෙම අඬවන්න එපා. උඹ මගේ සොඳුරැ සමරු පොතට කඳුලක් එකතු කළා. කමක් නෑ....උඹට නිවන් සුව රත්තරන් පුතේ...(මෙම පොස්ට් 1 සංවේදී වීමට පුළුවන්. මගේ ඉල්ලීම පුලුවන්නම් යාලුවෙකුට ශෙයා කරන්න,දිනෙන් දින වැඩිවන මෝටර් සයිකල් අනතුරු අඩුකර ගැනීම පිණිස. කියවපු සැමට පිං !"







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu