මාලිංග ක්‍රිකට් දිවියෙන් සමුගැනීම ගැන කතා කරයි - විස්සයි විස්ස ලෝක කුසලානයට තරඟ කිරීමත් අවිනිශ්චිතයි

ක්‍රිකට් කියන්නේ හරිම අවිනිශ්චිත ක්‍රීඩාවක්. වරෙක ඉහළ යන කණ්ඩායම් තවත් වරෙක අන්තිම පහළ මට්ටමට වැටෙනවා. ප්‍රබල එංගලන්ත පිළ පරාජය කරපු ලංකා කණ්ඩායම අද දකුණු අප්‍රිකාවට පරාජය වුණා. දකුණු අප්‍රිකාව කියන්නේ තරඟවලින් පරාජය වෙලා ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසි වී සිටින කණ්ඩායමක්. නමුත් එම පිලට අද ලංකා කණ්ඩායම පරාජය වුණා. මේ අතර  එංගලන්තය තරඟය ජයග්‍රහණය කිරීමට ප්‍රමුඛයා වූ ලසිත් මාලිංග තමාගේ ක්‍රිකට් සමුගැනීම ගැන අදහස් දක්වා තිබුණා. 

තමන් දැන් ක්‍රීඩාකරමින් සිටින්නේ සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරඟ කිහිපය බව ඔහු පවසා සිටිනවා. වත්මන් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු කියා සිටිනවා.

2020 ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබුණ ද එක්දින ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කර ඒ ගැන තීරණයක් ගන්නා බවයි ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියේ. 

"මම දැන් සටන් කළා... සටන් කළා දැන් මටත් මහන්සියි. විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. හබැයි ඒකත් මම ලෝක කුසලානයෙන් පසු ලංකාවට ගිහිල්ලා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා බලනවා ඒගොල්ලන්ගේ දැක්ම මොකක්ද මම ගහනවනම් මගේ දැක්ම මේකයි කියල පෙන්නලා දීල. ඒගොල්ලන්ගේ දැක්මයි මගේ දැක්මයි සැසඳූනොත් මම ඒ දක්වා ඉඳියි. නැත්නම් ඉතා ඉක්මනින් සම්පූර්ණ වශයෙන් ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි." ලසිත් මාලිංග කියා සිටිනවා.

"මේ ලෝක කුසලානයෙන් පස්සේ මම හරි ආසයි ලංකාවේ එක තරගයක් ක්‍රීඩා කරලා එක්දින පිටියෙන් සමුගන්න. නුවන් කුලසේකරත් මාත් සමග අවුරුදු 10ක් ක්‍රීඩා කළා. මම හිතනවා ඔහුටත් එක තරගයක් හම්බවෙයි කියලා ක්‍රීඩාවෙන් සමුගන්න. මොකද ඔහු ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක 1කේ හිටපු ශ්‍රී ලංකාවේ එකම වේග පන්දු යවන්නා. ඒක නිසා මම හරි කැමැත්තෙන් ඉන්නවා ඔහුයි මායි එකම තරගයේ සමුගන්න. මම ඒකට ගොඩක් උත්සාහ කරලා තියෙන්නේ. මම හිතනවා මගේ උත්සාහය සාර්ථක වෙයි කියලා."

ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බංගලාදේශ හෝ නවසීලන්ත සංචාරය ඒ අනුව තම අවසන් එක්දින හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය විය හැකි බව ලසිත් මාලිංග පවසනවා.

"දැන් මට අවුරුදු 36යි. මගේ ඇඟේ තියෙන ශක්තිය දැන් එහෙම නැහැ. තරගයකදී මට තියෙන දෙයින් මම උපරිම ප්‍රයෝජන ගත්තට මට පරාජය කරන්න තරම් ශක්තියක් දැන් නැහැ.අපි දැන් එක්දින ශ්‍රේණිගත කිරීම්වල 9 වෙනි ස්ථානය ඉන්නේ මම ක්‍රීඩාකරන මේ අවසන් මාස කිහිපයේ 7 වෙනි ස්ථානය දක්වාවත් ඉස්සරහට ගේන්න පුළුවන් නම් මට ඒක ලොකු සතුටක්," ඔහු සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිපයේ බලාපොරොත්තුව ගැන එසේ අදහස් දක්වා සිටියා.

"අපි මෙච්චර පල්ලෙහාට වැටිලා ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ නෙවෙයි. අපි ශ්‍රේණිගත කිරීම්වල 2,3,4 ගොඩක් ක්‍රීඩා කළේ. ඉතින් ඒ ගැන දුකයි. හැබැයි මම හිතන්නේ නැහැ මෙතනින් එහාට යන්න පුළුවන් වෙයි කියලා. විස්සයි විස්ස ලෝක කුසලානයට යන්න අද අපිට සුදුසුකම් ලැබීමේ වටයට ගහන්න වෙලා තියෙනවා. මේක මට ලොකු දුකක් සුදුසුකම් ලබන්න වෙලා තියෙන කොට දාලා යන්න. ඒකයි මම හිතුවේ විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කරලා සුදුසුකම් ලබන වටයෙන් හරි ඉදිරියට ගිහින් අයින් වුනොත් මට ඇති කියලා" ලසිත් මාලිංග අවසන් වශයෙන් කියා සිටියා.

(මුලාශ්‍ර : බිබිසි සිංහල පුවත් සේවය )
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu