කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පූජාවට එදත් බැතිමතුන් ආවේ හරිම සතුටින්.ජේසුගේ උත්ථානයේ සතුට සමරන්න බලා සිටි බැතිමතුන්ගෙන් එදා මේ දේවස්ථානත් පිරී ඉතිරිලා තිබුණා. පුජාවේ අවසාන ආශිර්වාදය ලබාගන්න හැම කෙනෙක්ම තම ආසනවල තවත් විනාඩි කිහිපයක් රැඳී සිටියා. මහ හයියෙන් හඬක් නඟපු කුරිරු බෝම්බය ජීවිත ගණනාවක් අහිමි කරමින් පුපුරා ගියා.
මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් දරුවන් අහිමි වූ මවුවරුන් අතර නිරාශා මහත්මියත් එක අම්මා කෙනෙක්. ඇයගේ ජීවිතයේ වටිනාම වස්තුව එදා මේ කුරිරු ත්‍රස්තයින් බිලිගත්තා. ඇයත් බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබ සැත්කම් කිහිපයකටම මුහුණ දී සුවය ලබමින් තමදියණියගේ වියෝව දරාගත නොහැකිව තවමත් වේදනාවෙන් ජීවිතය නැවත ඔසවන්න උත්සාහ කරනවා.
''අනේ මගේ දූ හරිම ආසයි, කෑම වර්ග, කේක් වර්ග හදන්න. එයා කෑම ජාති ලියපු පොතේ මැරෙන්න දවස් දෙකකට කලින් රතු පෑනකින් නැවතීම කියලා ලියලා තිබුණා. අනේ මේ බලන්න එයා ආසම රතු පාට, අනේ මගේ රත්තරන් දුවට මොනවා හරි දැනුනද කියලා හිතාගන්න බැහැ''
නිරාශා මව කඳුලුසලමින් කියා සිටිනවා.
''එයාගේ උපන්දිනේ තිබුණේ පසුගිය 17 වැනිදා. කේක් එකකුයි රතු පාට ටී ෂර්ට් එකකුයි ඩෙනිම් කලිසමකුයි ඉල්ලුවා.මට සල්ලි නැහැ කියලා දන්නවා. ඒත් ඒවා අරන් දෙන්න කියලා ආච්චිට කියලා. එදා බෝම්බය පුපුරව ගත්ත කෙනා ඇවිල්ලා නැවතුණේ අපේ දුව හිටපු තැන. මටමතක එච්චරයි. ටික වෙලාවකින් මගේ සිහිය විකල්වෙලා ගියා. ආයෙම ටිකකින් ඇස් ඇරලා බැලුවම මගේ දරුවා මගේම කකුල් දෙක ළඟ වැටිලා හිටියා. මට තුවාලවල වේදනාව දැණුනේ නැහැ. මට ඕනෑ වුණේ දරුවව ඉස්පිරිතාලයට යවන්න.
දරුවාගේ තාත්තා ඒ වෙලාවෙම දුවලා ආවා. අනේ දරුවව උස්සලා අතට ගන්න දෙයක් තිබුණේ නැහැ. හිතේ හයියට කෑ ගැහුවට දරුවව හරියට දැක්කට පස්සේ මට බලන්න බැරි වුණා. දරුවගෙ තාත්තා මහ හයියෙන් අඬනකොට මට දැණුනා දරු පැටියා අපිව දාලා ගිහින් කියලා.
මාස දෙකක් වෙලත් මට තවම හරියට නින්ද යන්නෙ නැහැ. ඇස් දෙක පියාගත්තම පේන්නේ දරුවගෙ මූණමයි. මට පිස්සු හැදිලා වගේ මානසික අසනීප තත්ත්වයක් ආවා. හිත මනස හදාගන්න සෑහෙන්න උදව් කලේ පල්ලියේ පියතුමන්ලා. එදා සිද්දියේදී උදව් කරපු අයට වඩා හිටියේ වීඩියෝ කරපු මිනිස්සු. හැම දෙයක් ගැනම මට ඒ වෙලේ කලකිරුණා. මේක මහ පවුකාර ලෝකයක්''
නිරාශා මහත්මියගේ සංවේගය ඒ විදියට වචන වලට පෙරළුණා.