කන්ද උඩරට දුම්රිය මාර්ගය කාටත් ආධුනික නොවුනද, මෙම අතිශය සුන්දර දැකුම්කලූ දුම්රිය ස්ථානය කාටත් ආධුනික බවක් ගෙනආවේ එහි ඇති පිළිවෙලය.
මේ වග කතාබහට ලක්වන්නට මූලිකම හේතුව වූයේ ඉකුත් වසරේ නොවැම්බර් මස විසිනව වැනි දින මහයියාව දුම්රිය ස්ථානය වෙත, දුම්රිය සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඞී. ප‍්‍රනාන්දු මහතා පැමිණ එවකට මහයියාව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති කේ.එච්.ඒ.ඉන්දික කුමාරසිංහ මහතා වෙත විශේෂ ත්‍යාගයක් ලබා දී දුම්රිය ස්ථානය නඩත්තු කොට ඇති අන්දම ඇගයීමට ලක්කළ නිසාය.
සැබැවින්ම මහයියාව දුම්රිය ස්ථානය දැකුම්කලූය. කුණුරොඩු කිසිවක් හෝ වල්වැවී මානා වැවී ඇති වගක් දක්නට නොලැබෙන්නේය. මල් වවා වල් කපා මල් වැල් මල් බඳුන් එල්ලා අලංකාර සොබා සෞන්දර්යයක් මවා ඇත්තේය. ඊට පුරෝගාමියා වූ මහයියාව දුම්රිය ස්ථානාධිපතිවරයා සොයා ගියෙමි. ඔහු නමින් කේ.එච්.ඒ.ඉන්දික කුමාරසිංහ මහතාය. වත්මන ඔහු මහනුවර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයකුව සේවය කරන්නේය. නමුත් ඔහුගේ දෑතින් ඔහුගේ වෙහෙසින් හැඩවූ මහයියාව ගැන ඔහු මෙසේ කරුණු ගෙන ආවේය.
මම මහයියාවේ වැඩභාරගත්තේ දෙදහස් දහහතේ, ජනවාරි හතර වැනිදා. මම යද්දි මාන වැවිලා වල් වැවිලා තිබුණේ. මහයියාව කියන්නේ උප දුම්රිය ස්ථානයක්. එතන රාජකාරිය කරන්න ලැබෙන්නේ තනිවම. මහයියාවේ තනියම වැඩකරද්දි මුහුණ දෙන්න සිදුවන අත්දැකීම් බොහොමයයි. දුම්රිය ස්ථානයට වැටක් ගේට්ටුවක් එහෙම තිබුණේ නැහැ. සමහර වෙලාවට මිනිස්සු ඇවිත් ඔහේ ඉන්නවා . යන්න කියන්න ක‍්‍රමයකුත් නැහැ. නමුත් මම හිතුවා මේ තැන හොඳ නඩත්තුවකින් පවත්වාගෙන ගියොත් අවට මිනිස්සු වුණත් නිකරුණේ රැඳෙන්නේ නැතුව රාජකාරි බිමක් කියන හැඟීම ඇතුව කටයුතු කරාවි කියලා . ඒ නිසාම මම එතන වැවිලා තිබුණ මානා ටික එක දවසක් කපලා දැම්මා. වල්කපන මැෂින් එකක් ගෙනැත් වල්ටිකත් පිළිවෙලකට කැපුවා. දැන් මට අවට ලස්සන කරන්න ආසාවක් ආවා. ඒ එක්කම පුළුවන් විදිහට මල්පෝච්චි ගෙනැත් , ටික ටික මල් හැදුවා. දුම්රිය ස්ථානයේ පොත්වලට කවර දාලා ලස්සන කළා. මට මේ දේවල් කරන්න වෙලාව හොඳ හැටි තිබුණා. මොකද මාතලේ පාරේ දුම්රිය නිතරම යන්නේ නැහැ. එන යන වෙලාව මට කටපාඩම්. මං ඒ වෙනකල් වටේ එක එක සුද්ද පවිත‍්‍ර වැඩ වගේම මල් හදන වැඩ වගේ හුඟාක් දේවල් කළා. අන්තිමට මටම විශ්වාස කරගන්න බැරි තරමටම දුම්රිය පළ ලස්සන වෙලා. හුඟක් දෙනෙක් ඒ ගැන කතා කරනවා. මගෙන් විස්තර අහනවා. මට දැන් හැමදේටම කලින් මතක් වෙන්නේ තව ලස්සන කරන්න මොනවාද කරන්න ඕනැ කියලා.
ඔය වගේ දවසක් වැඩ කර කර ඉන්න කොට ළඟපාත නිතර යන එන දෙන්නෙක් තුන්දෙනෙක් මම කියන්නෙත් නැතිව මල් හදන්න අතු කපන්න උදව් වුණා. ඒ විතරක් නෙවෙයි සමහරු මල් පැළ ගෙනැත් දුන්නා. ඒ වගේ වෙද්දි මට තවත් ආසයි දුම්රිය ස්ථානය අලූත් විදිහකට ලස්සන කරන්න. මගේ හිතට එන විවිධ අදහස් දාලා මම දුම්රිය ස්ථානය ලස්සන කළා. ඒකෙ ප‍්‍රතිඵලයක් තමයි දුම්රිය සාමාන්‍යාධිකාරිතුමා ඇවිත් මගේ සේවය අගය කර තෑග්ගක් දීලා ගිය එක. මම මගේ රාජකාරිය හරියට ඉටු කළා. ඒ නිසා මම අදටත් රාජකාරිය ගැන තෘප්තිමත්....”
අද වන විට මහයියාව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන්නේ, අඛිල ගුණවර්ධන මහතාය. ඔහුගේ ප‍්‍රථම පත්වීමද මහයියාව දුම්රිය ස්ථානාධිපතිවරයා වීමය. ඉන්දික කුමාරසිංහ මහතා මහයියාව ලස්සන කළා සේම එහි වගකීම ඔහු වෙතද පැවරී ඇතැයි නේද යන්න මම ඔහුගෙන් විමසිමි.”
මම හුඟාක් කැමතියි මේ දුම්රිය ස්ථානය ඉන්දික මහත්තයා තියාගත් විදිහටම ලස්සනට තියාගන්න. නමුත් මෙය මගේ පළමු පත්වීම. තාම මගේ වැටුප හා වියදම් පිළිබඳ ගැටලූ තිබෙනවා. වල් කපන්න මා සතුව වල්කපන යන්ත‍්‍රයක් නැහැ. කුලියට ගන්න අමාරුයි ලොකු කුලියක් ඉල්ලන නිසා. දැනට හැකි විදිහට මල් පෝච්චි නඩත්තු කරනවා. නමුත් මම කොහොමහරි මගේ සේවා ස්ථානය ලස්සනට තබා ගන්න අවශ්‍ය කටයුතු කරනවා කියන අධිෂ්ඨානය මට තිබෙනවා. කෙසේ හෝ ඉදිරියටත් මහයියාව උප දුම්රිය පළ ලස්සනට තියේවි.” ඔහු කියන්නේය.
දුම්රිය ශ‍්‍රී ලාංකිකයන්ට දායාද කළේ බි‍්‍රතාන්‍ය රජයයි. මුහුදුබඩ දුම්රිය මාර්ග සේම කන්ද උඩරට සහ නුවර මාතලේ දුම්රිය පාර තැනුනේ උඩරට කෝපි තේ ඇතුළු බෝග පිටරට යැවීම සඳහා මුහුදුබඩට ගෙනයාමේ පහසුකම සඳහාය. එක්දහස් අටසිය හැටහතේ දී පමණ නුවර මාතලේ දුම්රිය මාර්ගය තනන සමයේදී , මහනුවරින් පිටත්වන වාෂ්ප දුම්රිය අස්ගිරිය පසුවන තෙක් වන කඳුගැටය නැගයාමට පහසුවක් සැලසීම පිණිස, පිටුපසින් තවත් එන්ජිමක් මගින් දුම්රිය තල්ලූකර යෑමට සිදුව තිබිණි. එම එන්ජිම මහයියාවේ නතර කොට ආපසු මහනුවර දුම්රිය ස්ථානය කරා යෑමටත් යළි මාතලේ බලා දුම්රියක් පිටත් ව යද්දී යළිත් අමතර එන්ජිමක් මගින් මහයියාව දක්වා යෑමටත් අවැසි පසුබිමක් සැකසී තිබිණි. මේ සඳහා පිටිවහලක් වීමට මහයියාව, දුම්රිය පළ තනා ඇතැයි දුම්රිය ඉතිහාසය දන්නා දුම්රිය ස්ථානාධිපතිවරයකු වන නලීන් අබේසිංහ මහතා අපට කියන්නේය.
දුම්රිය ගමනට අපි කවුරුත් කැමතිය. නිතර දෙවේලේ දුම්රියේ ගමන් නොකරන ඕනෑම කෙනෙකු හට දුම්රිය ගමන විටෙක විශ්මය උපදවයි. රේල් පීලි දෙකක් මත යකඩ පෙට්ටි මත හිඳ , යන දුම්රියේ සුන්දර ගමන් විලාසය කාලය ගෙවී යන අන්දම හෝ නොදැනෙයි. තැනින් තැන නවතින දුම්රිය ගමන තවත් සුන්දර කරන්නේ දුම්රිය ස්ථානයන්හි ඇති සුන්දර බවත් සමගය. ඒ වගට මාතලේ-නුවර දුම්රිය මාර්ගයේ මහයියාව දුම්රිය ස්ථානය හොඳම උදාහරණයකි.
සමන්තී වීරසේකර
දිවයින