සිය මිතුරන්ගෙන් පාසලේදී සිදුවන අඩතේට්ටම් දරා ගත නොහැකිව සියදිවි හානි කරගත් පාසල් සිසුවෙකු පිළිබද අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. ගම්පහ අරමංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ලසිත දිල්ශාන් නිශ්ශංක දහ අට හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු ගම්පහ බණ්‌ඩාරනායක විදුහලේ 12 ශ්‍රේණිය ජීව විද්‍යා අංශයේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත. ස්වභාවයෙන්ම අහිංසක දරුවෙකු වූ ලසිතගෙන් සැමටම උදවු උපකාර විනා හිරිහැරයක් සිදුව නැත. ලසිතගේ පියා විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයෙකු වන අතර මව ගෘහණියකි. ලසිතට වැඩිමහල් සොහොයුරියක් සිටින අතර ඇය රුහුණු විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි.
දිනය පසුගිය 09 වැනිදාය. ලසිත දිල්ශාන්ගේ මව්පිය දෙපළ රාගම රෝහල වෙත යැම පිණිස නිවසින් පිටත්ව ගොස් තිබේ. නිවසෙහි සිට ඇත්තේ ලසිත දිල්ශාන් සහ ඔහුගේ ආච්චි අම්මා පමණක්‌ය. උදෑසන ආහාරය සූදානම් කර තිබූ බැවින් ලසිත දිල්ශාන්ගේ ආච්චි අම්මා ලසිතගේ කාමරය වෙත පියනඟන්නේ ඒ බව ලසිත වෙත පැවසීම පිණිසය. ලසිත එවෙලෙහි තම කාමරය තුළ යමක් සටහන් කරමින් සිටින අයුරු දකින ආච්චි අම්මා ඔහුට කරදරයක් නොවන අයුරින් ආපසු හැරී යන්නීය.
පැය භාගයක පමණ කාලයකින් පසු නැවතත් සිය මුණුබුරාට උදෑසන ආහරය ගැනීමට යැයි පැවසීමට ලසිතගේ මිත්තණිය ඔහුගේ කාමරය වෙත ගොස් තිබේ. එවර ඇයට දකින්නට ලැබී ඇත්තේ බියකරු දසුනකි. එනම් එයට ස්වල්ප මොහොතකට පෙර තම පොත්පත් තබා ඇති මේසය මත යමක් සටහන් කරමින් සිටි තම මුණුපුරා වන ලසිත දිල්ශාන් ගෙල වැලලාගෙන සිටින අයුරුය. ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් ගෙල වැලලා ගෙන සිටින සිය මුණුපුරා දකින ඇයට කළ හැකි වන්නේ පළාතම දෙවනත් වන අයුරින් විලාප තැබීම පමණය. ඇය නඟන විලාපය ඇසී නිවසට රැස්‌වන අසල්වැසියන්ට දකින්නට ලැබෙන්නේ අහිංසක ලසිත දිල්ශාන් තම දිවිමඟ නිමාකර ගැනීමට දැරූ මාරාන්තික වෑයමක හද කම්පා කරවන දසුනය. ඉන් අනතුරුව හැකි ඉක්‌මනින් ලසිත දිල්ශාන්ව රෝහල කරා රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් 18 හැවිරිදි ලසිත තම දිවි ගමන වේලාසනම නිමාකොට මරු හා නික්‌ම ගොස් අවසන්ව තිබී ඇත.
දිනක වෛද්‍යවරයකු වීමේ සිහිනයෙන් අධ්‍යාපන කටයුතුවල නිරතව ඇති ලසිත එහි සුබ නිමිති පළ කරමින් අ.පො.ස. සාමාන්‍ය පෙළ A සාමාර්ථ නවයක් සහිතව සමත් වන අතර ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදු කිරීමට තීරණය කොට ඇත්තේ එබැවින්ය. ගෙල වැලලා ගනිමින් මියයැමට ටික වේලාවකට පෙර ලසිත විසින් දිනපොතක තබා ඇති සටහන් කීපයක් පසුව සොයාගත් අතර ලසිතගේ මරණය ගැන යම් හඳුනා ගැනීමකට එම සටහන් ඉවහල් වනු ඇත. එම සටහන් කීපය අතරින් එක් සටහනක ලසිත විසින් මෙවැන්නක් ලියා ඇත.
"පංතියේ කවුරුවත් මට මොනවත් කියන්නෙ නෑ. ළමයෙක් එක්‌ක කතා කළා කියල මොනව වෙනවද? මම බලෙන් කතා කළේ නෑ. දසුන්ලා තමා කේළම් කිය කිය මාව චාටර් කරන්නෙ. මම කිසිම වැරැද්දක් කරල නෑ. දෙයියම්පල්ලා... පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ. මාව චාටර් කරලා. අනේ මං මොනවත් කළේ නැහැ. අම්ම, තාත්ත, අක්‌ක මට සමාවෙන්න..."
ඉහත සඳහන් කරන ලද්දේ මියයැමට පෙර ලසිත විසින් සටහන් තබන ලද්දක්‌ය. එතැනින් නතර නොවන ලසිත දිනපොතේ වෙනත් තැනක මෙවැනි සටහන්කද තබා ඇත.
"මගේ ෆෝන් එක අක්‌කට දෙන්න. මගේ Bio Free Card එක යෙනුර ප්‍රදීප්ට (12-H) දෙන්න"
තවත් තැනක ලසිත විසින් තබන්නේ මෙවැනි සටහනක්‌ය.
"ඔච්චර නරකයි කියල දන්නව නම් මං උදව් කරන්නෙ නෑ. ඒත් අපි කාටවත් වරදක් කරන්නෙ නෑ. අම්මයි තාත්තයි තමයි මේ ලෝකෙ ඉන්න හොඳම අම්මයි තාත්තයි. හොඳම අක්‌කා තමා මගේ අක්‌ක.. ඊළඟ ආත්මෙ ඔය තුන්දෙනා මගේම වෙලා ඉපදේවා. මට සමාවෙන්න මං කැමැති නෑ චාටර් වෙන්න..."
ලසිත එලෙස විවිධ අදහස් තම සටහන් පොතට එක්‌කර ඇත්තේ ජීවිතයෙන් නික්‌ම යැමට පෙරය. ඉන් පෙර ලසිත විසින් තබන ලද සටහනක මෙවැනි සටහනක්‌ද විය.
"මගේ හෘද සාක්‍ෂිය දන්නව මං වැරැදි කළේ නැහැ කියල. මරණයට හේතුව - නොකළ වැරැදිවලට කේළම් කීම සහ පන්තිය ඉදිරියේ අපහාස කිරීම."
දැන් සියල්ල සිදුවී හමාරය. අවසානයේ මවුපියන්ට වසර දහ අටක් පුරා ඇති දැඩි කළ දරුවෙක් අහිමි විය. රටේ අනාගතය භාර ගැනීමට සිටි තවත් තරුණයෙක් රටට අහිමි විය. මෙවන් අවාසනාවන්ත සිදුවීම් නැවතත් සිදුවීම වලක්වා ගැනීමට පාසල් මට්ටමින්, ජාතික මට්ටමින් ක්‍රියා මාර්ග ගත යුතුය. ලසිත දිනපොතෙහි තැබූ සටහන් පහතින්,