දින දෙකක් පාළු නිවෙසක නොමරා මැරූ සුමනරතන හාමුදුරුවන්ගෙ බිහිසුණු කතාව



දින දෙකක් පාළු නිවෙසක 
නොමරා මැරූ 
සුමනරතන හාමුදුරුවන්ගෙ 
බිහිසුණු කතාව 

අම්පාර දොරකුඹුර පිංකෙත රජමහ විහාරයස්ථානයේ ස්වාමීන් නමක් පැහැරගෙන ගොස් ඇස් බැඳ පහරදී දින දෙකක් පුරාවටම පාළු නිවෙසක සිරකර තැබූ සංවේදී පුවතක් වාර්තා වුණු අතර මෙලෙස වධ හිංසනයට සහ මරණ තර්ජනයට ලක්වී ඇති ස්වාමීන් වහන්සේ තමන් මුහුණ දුන් අමානුශීය අත්දැකීම මෙලෙස ප්‍රකාශ කරනවා.

"මම මාවනැල්ල වාහන සේල් එකකින් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් මිලදී ගෙන තිබුණා. ඒ ත්‍රීවීල් එක නැවත ඔවුන්ටම විකුණා රුපියල් 1,25,000 මුදලක් අරගෙන යතුරුපැදිය ලියාපදිංචිය සඳහා කොළඹ ආවා. කොළඹින් කිව්වා ලියාපදිංචි කරලා දෙන්න මුල් හිමිකරුගෙන් ලියුමක් අවශ්‍ය බව. මා ඒ ලියුම ගැන මාවනැල්ල වාහන සේල් එකේ මහත්තයට කීවා. ඔහු කීවා දැන් හාමුදුරුවෝ වඩිනකොට රෑ වෙනවානේ. සේල් එකත් පහ වෙනකොට වහනවානේ. මමත් දැන් ගම්පොළ ඉන්නේ. ඒ වුණත් කමක් නැහැ ඔබ වහන්සේ වඩින්න කියලා. මමත් 16 වැනිදා ව්‍යාපාරික මහත්තයා කියපු විදියට කොළඹ ඉඳන් මාවනැල්ලට ඇවිත් බැස්සා. එතකොට රෑ 8.30ට විතර ඇති. මම මාවනැල්ල ඔරලෝසු කණුව ගාව හිටිගෙන හිටියා. ව්‍යාපාරික මහත්තයා තමයි මට එතැන ඉන්න කීවේ. එතැන ටික වෙලාවක් ඉන්නකොට කාර් එකක් ඇවිත් නැවැත්තුවා.

මම ඒ කාර් එකේ කවුද ඉන්නේ කියලා දන්නෙ නැහැ. නමුත් එතැන හිටපු කෙනෙක් මගෙන් ඇවිත් ඇසුවා මේ ඔය හාමුදුරුවෝද අර බයිසිකලයේ ලියුමක් ගන්න හෙම්මාතගම යන්න ඉන්නේ කියලා. මම කිව්වා ඔව් කියලා. එහෙම නම් නඟින්නකෝ කාර් එකට කියල අරගෙන ගියා.

නමුත් අර ව්‍යාපාරික මහත්තයා නෙවෙයි ආවේ. මම හිතුවා එයාගේ අඳුරන කෙනෙක් කියලා. එහෙම නැඟපු කාර් එකේ අරන් ගියා. ටික දුරක් ගිහින් කීවා 'හාමුදුරුවෝ මූණ හරියට පේන්නෙ නැහැනේ කණ්ණාඩිය ගලවන්න' කියලා. මමත් ගැලෙව්වා. ඒ සමඟම මගේ ඇස් කළුපාට රෙදි කැබැල්ලකින් බැන්දා. අත්දෙකත් බැන්දා.

එහෙම කරලා ටික දුරක් යද්දි මට ලීයකින් ගහන්න ගත්තා. මූණට, පිටට, අත්වලට, කකුල්වල ගැහුවා. මූණට අතින් ගැහුවා. එහෙම ගහපු හැම තැනක්ම වාගේ ඉදිමිලා. දැන් හරි කැක්කුමයි. ඇටකටුත් එක්ක රිදෙනවා. ඒ අය මට පිහියකින් ටික ටික ඇනලා කියනවා මේ මොකක්ද කියලා තේරෙනවද කියලා. මම ඒ අය මොනවා කීවත් කතා කළේ නැහැ. මම අවසානයේ බැරිම තැන කීවා අනේ ළමයිනේ මාගේ ගාව සල්ලි නැහැ කියලා. ඔවුන් කීවා නැහැ නොවෙයි තියෙන සල්ලි ගනින්, නැත්නම් මරලා දානවා කියලා.
මම බැරිම තැන කීවා සල්ලි ඉනේ තියෙන්නේ, ගන්නේ කොහොමද, මගේ අත් බැඳලානේ කියලා. පෙන්නපන් අපි ගන්නම් කියලා කීවාට පස්සේ මම සිවුර පාත් කළා. අඳනේ අස්සේ ගහගෙන හිටපු පොලිතින් මල්ලේ ඔතලා තිබුණු සල්ලි ඒ අය ගත්තා. එතැන රුපියල් 1,25,000ක් තිබුණා. ඒ සල්ලි වියදම් වුණෙත් නැහැ. මම එනකොට සල්ලි ගෙනාපු නිසා. ගත්ත සල්ලි සේරම තිබුණේ 5000 නෝට්ටුවලින්.

සල්ලිත් අරන් පාළු ගෙදරකට මාව අරන් ගිහින් කාමරයකට දාලා ‍දොර වහනවා මට ඇසුණා. මම ඒ පාළු කාමරයේ බිම ඉඳගෙන ඉන්නවා. ඒ අය කීවා මුත්‍රා කරන්න ඕනෑ නම් බකට් එකක් දෙන්නම්, ඒකට මුත්‍රා කරන්න කියලා. මාගේ කකුල දික් කරන්න කීවා. මගේ කකුලට ඒක වැදුණා. ඊට පස්සේ කකුල ළඟින් තිබ්බා. ඒ කරලා ඒ අය දොර වහලා යන්න ගියා. පස්සේ වතුර බෝතලයක් ගෙනත් දුන්නා. පාන්දර කිට්ටුව ඇති කියලා මට හිතුණා. මොකද පරිසරයේ සද්දවලින් කුරුල්ලන්ගේ සද්ද වාගේ දේවල් මට ඇසුණා.

එතැන හිටපු එක්කෙනෙක් කීවා තිබහ එනකොට බොන්න එක අතක් ලෙහනවා කියලා. මම ඊට පස්සේ වතුර බීවා. මට හොඳටම වතුර තිබහයි. දානෙ වළඳන්නත් නැහැ. ඒ කුසගින්නත් එක්ක ඒ වතුර ටික තිබහ නිසාම බීවා. ඊට පස්සේ මගේ අත්දෙක ආයෙ බැන්දා. ඊට පස්සේ ඒ අය යන්න ගියා. ඒ ගෙදර කිසිම සද්දයක් නැහැ. මට තේරුණු විදියට මේක කළේ වෙනස් පිරිසක්. ඒ අය කතා කරපු භාෂාව, හැසිරීම වාගේ දේවල්වලින් මට තේරුම් ගන්න පුළුවන්. ඒ වාගේම ඒ අය කවුද කියලා දැක්කොත් මට අඳුනා ගන්නත් පුළුවන්. මම අරන් ගියේ කළු පාට කාර් එකකින්.

පස්සෙ මාව වාහනයකින් ඇස් වහලා ගෙනාවා. ගෙනත් අතුරු පාරක දැම්මා. සිද්ධිය රහසක් ලෙස තබාගන්නා ලෙස තර්ජනය කළා. තොරතුරු හෙළි කළොත් මරනවා කීවා."

උන්වහන්සේ මෙම සිදුවීමෙන් අනතුරුව මාවනැල්ලට වැඩම කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය පිළිබඳව කිසිවකුට නොපවසා  තමන් මිලට ගත් යතුරුපැදියේ අයිතිකරු සොයා පැමිණ තිබෙනවා. ඒ කුලී ත්‍රී රෝද රථයකින්. ඉන් අනතුරුව යතුරුපැදියේ මුල් හිමිකරු විසින් ගමේ පන්සල හරහා උන්වහන්සේව හෙම්මාතගම රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu