මීතොටමුල්ල ප්‍රදේශයෙන් ඇසෙන සංවේදී කතා
වන්දි ගෙවන්න වුණේ අපටයි
රජය මේක ප්ලෑන් කරලා කරපු වැඩක්
එකපාරට කුණු කන්ද පැත්තෙන් විශාල පිපුරුම් සද්දයක් ආවා. මම ඒ වෙලාවේ පාර පැත්තේ හිටියේ. මම දැක්‌කා ඒ වෙලාවේ මගේ නෝනයි, පුංචි මිණිබිරියයි දුවගෙන එනවා. ඒ සමඟම මගේ නෝනයි, මිණිබිරියයි, තට්‌ටු දෙකේ ගේයි කුණු කන්දට යටවුණා. අනේ දෙයියනේ අපට වෙච්ච විපතක් යෑයි දිවි ගලවාගත් කීර්තිරත්න පෙරේරා මහතා පැවැසීය.
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් නායයැමෙන් සිදුවූ විපත ගැන සොයා බැලීමට ඊයේ (18 දා) අප එහි ගිය අවස්‌ථාවේ ඒ මහතා එසේ කියා
සිටියේය.
අපි එහි යන විටත් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා පොලිසියේ නිලධාරීන් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් කැණීම් කටයුතු සිදුකරමින් සිටියහ. ඔවුන් සිතියමක ආධාරයෙන් එම මාර්ගය හා ඒ අසල කුණු කන්දට යටවී තිබූ නිවාස පේළිය මතුකර ගැනීම සඳහා බැකෝ ආධාරයෙන් දැඩි පරිශ්‍රමයක නිරතවී සිටිනු දැකගත හැකි විය.
එසේම හානියට පත් නිවාස ඉදිරිපිට බල්ලන්, පූසන් රැඳී සිටින ආකාරය දැකගත හැකි විය. තවදුරටත් සිද්ධිය විස්‌තර කළ කීර්තිරත්න මහතා මෙසේද කීය.
14 වැනිදා සවස 2.30 ට විතර මේ සිද්ධිය වුණේ. මගේ තට්‌ටු දෙකේ ගේ බොහොම ශක්‌තිමත් විදිහට හදලා තිබෙන්නේ. කොහොමහරි එදා මගේ නෝනයි, මිණිබිරියයි කුණු කන්දට යටවෙලා ඉන්න වෙලාවේ පැය තුනකට පස්‌සේ තමයි ආමි එකෙන් ආවේ. සිද්ධිය වෙච්ච වෙලාවේම ආමි එකෙන් ආවානම් මගේ බිරිඳයි, මිණිබිරියයි, අර යටවුණු අනිත් ගෙවල්වල අයවයි බේරාගන්න තිබුණා.
මගේ තට්‌ටු දෙකේ ගේ පිටුපසින් කුණු කන්දෙන් පිපුරුම් සද්දයක් ආවා. අපි මොනතරම් කිව්වද මෙතන කුණු දාන්න එපා කියලා. එක දේශපාලකයෙක් ඇහුවද? අපි මේ කුණු දාන එකට එරෙහිව මීට පෙර උද්ඝෝෂණ කොච්චර කළාද? එකෙක් ඇහුවද. ඒකට රජය පිළිතුරු දුන්නේ පොලිසිය ලවා උද්ඝෝෂණය කරපු අපේ ඔලු පලලා කඳුළු ගෑස් ගහලා ජල ප්‍රහාර එල්ල කරපු එකයි.
දැන් මගේ නෝනයි, මිණිබිරියයි නැහැ. මේ ජීවිතවලට කවුද වග කියන්නේ. මේ ජනතාව නඟපු හඬ මේ රටේ පාලකයන්ට තේරුණේ නැහැ. ඒකෙන් වන්දි ගෙවන්න වුණේ අපේ අහිංසක නෝනට, මිණිබිරියට, අසල්වැසියන්ට.
ඊළඟට අපට අදහස් දැක්‌වූයේ දහම්පුර ජාතික නිවාසවල පදිංචි වී. ජී. කුලරත්න මහතායි.
14 වැනිදා දවල් 2.00 ට විතර මම පොඩ්ඩක් පාර පැත්තට එන්න හදනකොට කුණු කන්ද පැත්තෙන් විශාල පිපිරුම් සද්දයක් ආවා. ඒ පිපුරුම් සද්දයත් එක්‌ක මම ගේ පැත්තට එනකොට මගේ බිරිඳයි, දුවයි, අක්‌කයි, ගමේ තව අක්‌කා කෙනෙකුයි අපි ඉවරයි කියලා කෑගහගෙන එනවා දැක්‌කා. පස්‌සේ බලනකොට අපේ ගේ තිබ්බ තැන නොවෙයි වෙනත් තැනකට ඇවිත් තිබුණා. දුවගේ පාසල්, පොත්පත් ගෙයි බඩුමුට්‌ටු තැන තැන තිබුණා. ගේ සම්පූර්ණයෙන්ම විනාශවෙලා තිබුණා. හරියට සුනාමියක් වගේ.
මේ විනාශය වෙන්න කලින් ඒ කියන්නේ මාසයකට උඩදී නගර සභාවෙන්ද කොහෙද ඇවිත් කුණු කන්දට බෙහෙත් ගැහුවා. අපි ඇයි මේවා ගහන්නේ කිව්වාම කුණු කන්දේ ගඳ නැති කරන්න බෙහෙත් ගහනවා කිව්වා. ඒවා ගැහුවාට පස්‌සේ මේ ළඟදී කුණු කන්දේ උඩ ප්‍රදේශවලින් විශාල පිපුරුම් සද්ද වගයකුත් ඇසුණා.
ඊට පස්‌සේ බලධාරීන් ඒ කුණු කන්ද අයිනේ තියෙන ගෙවල්වලට සල්ලි දුන්නා. ඊට සුමානෙකට පස්‌සේ බලධාරීන් මේක අවදානම් කලාපයක් කියලා අපිට කිව්වා. අපි මේ ගැන මරික්‌කාර මන්ත්‍රීතුමාට කිව්වාම කිව්වා අවුරුදු නිසා බලධාරීන් කව්රුවත් නැහැ කියලා. රජය මේක හොඳට දැනගෙන ප්ලෑන් කරලා කරපු වැඩක්. මේ ගෙවල් අයින්කරන්න තියෙන උවමනාවට කරපු ප්ලෑනක් කියලයි අපිට මේක හිතෙන්නේ. දැන් මේක අනාරක්‍ෂිත කලාපයක් කියලා කියනවා.
අපි මේ ගමේ ඉන්නේ අවුරුදු 35 ක ඉඳලා. එදා මේ කුණු දාලා තියෙන තැන තිබුණේ සුන්දර වෙල්යායක්. ඒ වගේම ලස්‌සන ගමක්. ඒ සුන්දර වෙල් යාය කුණු දාලා දාලා විනාශ කළේ රටේ දේශපාලනඥයෝ. අපි ස්‌ථිර පදිංචිකාරයෝ.
මේ මහා කුණු කන්දෙන් ආදායමක් තියෙන්නේ දේශපාලනඥයන්ට, කුඩුකාරයින්ට. උන්ට මේ කුණු කන්ද මහා ධනය උපද්දවන ඉල්ලමක්. මේ මහා විනාශයට රජය වගකියන්න ඕනෑ.
අප ඉන් අනතුරුව ගියේ මෙම විපතින් අවතැන් වී සිටින කොළොන්නාව ටෙරන්ස් එන්. ද සිල්වා විද්‍යාලයටයි. එහි යන විටත් එම අවතැන් ජනතාව විද්‍යාලයේ පන්ති කාමර තුළ
රැඳී සිටිනු දැකගත හැකි විය. එහිදී අපට හමුවූ සචිත්ත සංකල්පන මහතා මෙසේ කීය.
මගේ ගේත් ඉවරටම ඉවරයි. මේ විනාශය වෙන්න කලින් අපි රටේ පාලකයන්ට කොච්චර කිව්වද? නමුත් මුන් එකෙක්‌වත් අපි කියපු දේවල් ඇහුවේ නැහැ. අපි ගෙවල් ඇලවෙලා තියෙන කොටත් පාලකයන්ට පෙන්නුවා. නමුත් උන් ඒවා ගණන් ගත්තේ නැහැ. අපේ ඥතීන් කීප දෙනකුම මියගියා.
හිරුණිකා, ප්‍රසන්න සෝලංගආරච්චිලා, මරික්‌කාර්ලා ඡන්දය ගත්තාට පස්‌සේ පැත්ත පළාතේ ආවේ නැහැ. උන් ආවේ කුණු කන්ද අයින් කරලා දෙනවා කියලයි. නමුත් උන් ඇහැටවත් දැක්‌කේ නැහැ.
මෙහිදී අදහස් දැක්‌වූ ආවඩ අම්මා මහත්මිය මෙසේ කීවාය.
මම 23 වත්තේ ඉන්නේ. කුණු කන්දේ විනාශයත් සමග කුණු කන්දේ වතුර අපේ ගෙවල්වලට දැම්මා. මාව ළමයි උස්‌සාගෙන එළියට අරන් ආවා. කුණු කන්ද ළඟට අපි ගියේ නැහැ. අපි ළඟට කුණු ගෙනත් දැම්මා. මේ විනාශය වුණේ බලධාරීන්ගේ මෝඩ වැඩ නිසා. මුන්ට හෙන ගහපිය. දැන් අපේ ළමයි අතුරුදන් වෙලා.
දහම්පුර, ඉනෝකා ප්‍රියංගනී මහත්මිය,
එක පාරට පට පට ගාන සද්දෙට මායි, ළමයි දෙන්නයි, මහත්තයාගේ අම්මයි එළියට පැන ගත්තා. අපි දුවලා බේරුණත් අපේ අසල්වැසියෝ කුණු කන්දට යටවුණා. මේ ෙ€දවාචකයට රටේ පාලකයෝ වගකීම භාරගත යුතුයි.
රජය අපිට වන්දි දෙනවා කියනවා. හැබැයි ඒක හැම දෙනාටම සාධාරණ විය යුතුයි. මොකද අපි ස්‌ථිර පදිංචිකාරයෝ.
ඒ. ජී. ස්‌වර්ණලතා මහත්මිය-
ආමි එක නිසා මේ කුණු කන්දට යටවුණු බොහෝ දෙනකු හොයාගත්තා. ඇත්තටම ඒ මහත්වරුන්ට අපි පින් දෙනවා. ජනතාවට මොනවාහරි විපතක් වුණොත් ඉන්නේ ආමි එකේ මහත්වරුන්.
ෆාතිමා මිසිරියා මහත්මිය-
මේ අනතුර වෙන්න කලින් අපේ ලැසී ගෙදර ඇති කරන බල්ලත් කෑ ගැහුවා. අනිත් බල්ලොත් කුණු ගොඩ පැත්තෙන් කෑ ගහනවා ඇහුණා. අපි එච්චර ගණන් ගත්තේ නැහැ. එකපාරටම සුනාමිය වගේ සද්දයක් ආවා. ඒ සමඟම අපේ ගේ සාලය මැදින් පුපුරාගෙන උඩට එන්න වුණා. ඒ එක්‌කම ළමයි ටිකත් අරන් මා එළියට පැන්නා. පස්‌සේ එළියට ගිහින් බලනකොට කුණු කන්ද හරියට දෙකට පිපුරුවා. එහිදී එක පැත්තක් එහෙමම රෝල්වේගෙන ආවා. අපේ ගේ පුපුර පුපුරා උඩට ආවා. ඒ සැනින් බලන කොට කුණු කන්දට ගෙවල් යටවුණා.
තම නිවසේ සුන්බුන් එකතු කරමින් සිටි ගුණරත්න මහතා අදහස් දක්‌වමින්,
මම නවලෝක රෝහලේ වැඩ කරන්නේ. මං අවුරුදු දා උදේ නිවසට ඇවිල්ල දවල් කෑම අරන් නිවසින් පිටවෙලා මී. 100 ක් යන්න කලින් ආරංචි වුණා කුණු කන්ද කඩා වැටිලා මිනිස්‌සු යටවෙලා කියලා. මං ඒ වෙලාවේම දුවගෙන ඇවිත් බලන කොට මුළු ගේම පොළවට යටවෙලා මුහුදු රැල්ලට ගහගෙන එනවා වගේ තට්‌ටු දෙකේ ගෙවල් උඩින් පාවෙලා ඇවිල්ලා අපේ නිවස ළඟ නතර වෙලා. මේ ගෙවල් යට තව ගෙවල් තියෙනවා. මෙතන පර්චස් 2, 4 ඉඩම්වල ගෙවල් 100 ක් විතර එක දිගට තිබ්බා. අද ඒ ගෙවලුත් නෑ. මේ වෙනකම් ඒ හිටපු මිනිස්‌සුත් දකින්නත් නැහැ.
මුස්‌ලිම් ජාතික කිෂානා බේගම් මහත්මිය-
මගේ පවුලේ ඔක්‌කොම හතර දෙනෙක් ඉන්නවා. අපිට යන එනමං නෑ. අපි හිටියේ පසුගිය ගං වතුරට ගහපු මීතොටමුල්ලේ කූඩාරම්වල. මේ කුණු කන්ද කඩන් වැටෙනවත් එක්‌කම මං හිටිය කූඩාරම කළු වතුරෙන් යටවුණා. දැන් ඒකෙන් අයින්වෙලා අක්‌කගේ ගෙදර ඉන්නේ. දැන් මගේ පවුලට ඉන්න තැනක් නෑ. ඒ නිසා අපිටත් සාධාරණය කරන්න කියලා තමයි කියන්නේ. මේ වන තුරු අපිට කියලා නූල් පොටක දෙයක් ලැබිලා නෑ. ඇයි අපිට විතරක් වෙනස්‌කම් කරන්නේ. කාඩ් එකක් දීලා තමයි සහනාධාර දෙන්නේ ඒත් කාඩ් ඉවරයි කියලා කාඩ් එකක්‌වත් දුන්නේ නෑ.
එල්. පී. විනීතා මහත්මිය-
මගේ පවුලේ මහත්තයයි දුවයි ඉන්නේ. කුණු කන්දෙන් වතුර පිරිලා ගේ යටවෙලා. අපේ ගෙදරට හානි වෙන්න තියෙන්නේ මීටර් 100 ක විතරයි. අපිට තාම විසඳුමක් දීලා නෑ. රජයෙන් අපේ ජීවිතවලට පිළියමක් ඕනී. අපි ෆ්ලැට්‌වල ඉන්න කැමති නෑ. එහෙම දෙනවානම් හමුදාවේ පොලිසියේ ආරක්‍ෂාව ඕනි. කට කතාවලින් නම් කියනවා වන්දි දෙනවා කියලා. ඒත් වගකිවයුතු රජයේ කිසිදු බලධාරියෙක් ආවේ නෑ. අපිට විසඳුමක් ලබාදෙන්න. මට මතක හැටියට ගෙවල් 150 ක් විතර පස් යට ගොළුවෙලා අද වෙනකොට. මේක වෙන්න කලින් මේ කුණු ගොඩට කොළඹ නගර සභාව මගින් කෙමිකල් එකක් ගැහුවා. ඒක ගැහුව නිසා වෙන්න ඕනි මේ තරම් විපතක් වුණේ. කුණු කන්ද යට වෙනවත් එක්‌කම පළාතම කළු පාට වතුරින් යටවෙලා තිබුණා.
කවීසා නෙත්මිණි දියණිය-
මම ඉගෙන ගන්නේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ 9 වසරේ. මං දැක්‌කා ගෙයක් කඩාගෙන එනවා. ඒ එක්‌කම එළියට පැනලා මගේ ගෙදර අයත් එක්‌ක බේරුණා. මගේ පාසලේ යාළුවෝ 12 ක් විතර අතුරුදන් වෙලා කියලා ආරංචියි. පුංචි නංගිලා මල්ලිලා ගොඩක් තනිවෙලා හරිම දුකයි. එයාලව ආරක්‍ෂා කරන්න කියලා මං ඉල්ලනවා.
කොළොන්නාව ටෙරන්ස් එන්. ද සිල්වා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි ගීතිකා මනම්පේරි මහත්මිය-
අවුරුදු දා මෙම විපත වුණ වේලාවේ ඉඳලා අවතැන් වුණ අය මේ පාසලේ නවාතැන් ගත්තායින් පස්‌සේ පුදුම විදිහට අපේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්‌ඩලය, අවට පාසල්වල ආචාර්ය මණ්‌ඩල, විශ්‍රාම ගිය ගුරුවරු, මෙම ගුරුවරුන්ගේ පවුලේ අය අවතැන් වුණ පිරිසට සහන සලසන්න රෑ 11.00-12.00 වෙනකම් කැපවෙලා කටයුතු කරලා සහනාධාර ලබාදෙනවා. අපි ඒ සහනාධාර නියම විදියට පැක් කරලා පොලිස් නිලධාරීන් හරහා ලිස්‌ට් එකක් අරගෙන ඒ ලැබෙන දේවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හරහා අවශ්‍ය අයට සහනාධාර බෙදා දෙනවා.
මේ කඳවුරේ ගොඩාක් අය ඉන්නේ නිවසට වතුර ගලලා, ගෙවල් කැඩිලා ටොයිලට් පිරිලා වාගේ දේවල් නිසා ඉන්න අමාරු ඇති. සම්පූර්ණයෙන් ආපදාවට ලක්‌වුණ අය මෙතන අඩුයි. ඒ ආපදා වුණ අයට මෙතන ඉන්න නම් මානසිකත්වයක් නෑ. ඒ අයගේ අය නැතිවෙලා නිසා ඒ අය මේ කඳවුර එක්‌ක සම්බන්ධ වෙනවා අඩුයි. මේ කඳවුරේ ඔත්පල වෙච්ච අම්මලා දෙන්නෙක් ඉන්නවා. එයාලා පැරලයිස් වෙලා. ඒ අයට අවශ්‍ය සහන ලබා දෙනවා. දරුවෙක් ඉන්නවා අවුරුදු 12 එයත් පැරලයිස්. ඉතිං පරිත්‍යාගශීලීන් ගෙන් ඒ අයට අවශ්‍ය සහන ලබා දෙනවා. ඒ වගේ අපිට පුළුවන් උපරිමය අපි කරනවා. මාස 2 කිරි දරුවෙක්. අවු. 1 දරුවෙක්, බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා 3 දෙනකු ඉන්නවා.
(දිවයින පුවත්පත ඇසුරෙනි)